මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    65 වන යුද හමුදා සංවත්සරයට දළදා මාලිගාවේ ආශිර්වාද පවත්වයි Featured

    සැප්තැම්බර් 29, 2014

    ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානවත් 65 වන සංවත්සරය හා යුද හමුදා දිනය ඔක්තෝබර් 10 දිනට යෙදී ඇති බැවින් ඒ වෙනුවෙන් දිවයින පුරා විවිධ වැඩසටහන් රැසක් සිදු කිරීමට කටයුතු යොදා ඇත.  


    මේ නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ ද විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක් පසුගියදා පැවැත්විණි. 1949 වසරේ පිහිටුවනු ලැබූ යුද හමුදාවේ සංවත්සර උත්සවයක් ශ්‍රී දළදා මාලිගාවේ පැවැත් වූ දෙවන අවස්ථාව මෙයයි.  


    ඒ අනුව පසුගිය සෙනුසරාදා සන්ධ්‍යාවේ සියලු යුද හමුදා ධජයන්ට සෙත් පැතීම සහ මියගිය සියලු රණ විරුවන් සිහිපත් කොට පිං අනුමෝදන් කිරීමත්, සේවයේ නියුතු සියලු රණ විරුවන්ට සෙත් පැතීම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී සිදු කෙරිණි. 

    ජීවමාන බුදුරජාණන් වහන්සේ සිහිගන්වමින් ත්‍රිවිධ චෛත්‍යයන්ට (ශාරීරික, පාරිභෝගික, උද්දේසික) පූජා පැවැත්වීමට හා වත්පිළිවෙත් ඉටුකිරීම මෙන් ම ශ්‍රාවක රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාට පුද පූජා පැවැත්වීම චිරාගත සම්ප්‍රදායානුකූලව මෙහිදී සිදු කෙරිණි.  

    මෙහි ප්‍රථම අදියර ආරම්භ කරමින් වත්පිළිවෙත්වලට අනුකූල ව ගිලන්පස පූජාව, මුරුතැන් පූජාව ඇතුළත්ව ‘තේවාව’ දළදා කුටියේ දී සිදු කරනු ලැබුවේ ශබ්ද පූජා මධ්‍යයේය. ඒ සඳහා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද එක්ව සිටියේය.  

    ශ්‍රී ලංකා යුද හමුදා ධජය පෙරටු කොට ගනිමින් ශ්‍රී ලංකා යුද හමුදා ස්වෙච්ඡා බල සේනා ධජය, දිවයින පුරා ස්ථාපිත සියලු ආරක්ෂක සේනා මූලස්ථාන, සේනාංක, බලසේනා සහ රෙජිමේන්තු ධජයන් ඇතුළත් ව වර්ණවත් යුද හමුදා ධජයන් පත්තිරිප්පු පරිශ්‍රයේ දී ආශිර්වාද ගැන් වූ අතර යුද හමුදාපති යුද හමුදා ධජයත් අනෙකුත් නිලධාරීන් ඒ ඒ ‍රෙජිමේන්තුවලට අයත් ධජයන් ද රැගෙන ඊට එක් වූහ.
     
    මෙහිදී යුද හමුදාව විසින් මුදල් පරිත්‍යාගයක්  හා සමරු තිළිණයක් ද දළදා මාළිගය වෙත  පිරිනැමූ අතර ඉන් පසු නිලධාරීන් සහ සෙසු නිලයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් බුද්ධ පූජාවක් පැවත්විණි. විශේෂ ධර්ම දේශනාවක් ද එහිදී  සිදු කළේය.  අනතුරු ව සෙත් පිරිත් සජ්ඣායනාවක් ද මෙම අවස්ථාවේ දී සිදු කළ අතර යුද හමුදාපතිතුමා විසින් ‘පිරිකර’ පූජා කිරීමෙන් අනතුරු ව එම වැඩසටහන් නිමාවට පත්කරන ලදී. 


    බෝධි පුජාවෙන් අනතුරු ව නිලධාරීන් සහ සෙසු නිලයින් සියයකට අධික පිරිසක් සඳහා විශේෂ ධර්ම දේශනාවක් ද  මල්වතු විහාර පාර්ශවයේ අතිපූජ්‍ය ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලැබූහ. අනතුරු ව සෙත් පිරිත් සජ්ඣායනාවක් ද මෙම අවස්ථාවේ දී සිදු කෙරිණි. 

    යුද හමුදා 65 වන සංවත්සරය වෙනුවෙන් මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ, පුජ්‍ය ගලගම අත්තදස්සි අනුනායක ස්වාමීන් වහන්සේ සහ පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමීන් වහන්සේ  ඇතුළු 65 නමක් විෂයෙහි මහා සංඝරත්නය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගයේ ධර්ම ශාලාවේ දී දානමය පුණ්‍යකර්මයක් සිදු කළහ. දේශය වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන් වෙනුවෙන් ‘පැන් වැඩීමක්’ සිදු කොට පිං අනුමෝදන් කළ අතර, ආබාධිත තත්ත්වයට පත් රණ විරුවන් ඇතුළු සියලු රණ විරුවන්ට සෙත් පැතීමත් සිදු කෙරිණි.

    යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මනෝ පෙරේරා, යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ  නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් ලෝරන්ස් වික්‍රමසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    NDH/army media

    flagBle 2014 7

     

    flagBle 2014 16

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya