මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව සංචාරය කිරීමට සුදුසු රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

    දෙසැම්බර් 19, 2014
    ෆෝබ්ස් (FORBES) සඟරාව  විසින් සිදු කළ සමීක්ෂණයකට අනුව ලෝකයේ සංචාරය කිරීමට සුදුසු ම රටවල් 10 අතරට අද වන විට ශ්‍රී ලංකාවත් පැමිණ ඇති බව හෙළිකරගෙන ඇතැයි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ රංග ශාලාව සහිත ශ්‍රවණාගාර ගොඩනැගිල්ලේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. මෙම උත්සවය ඉකුත්දා එම විද්‍යාලයේ දී පැවැත්විණ.
     
    "මීට වසර 5කට කලින් එහෙම හැඳින්වීමක් ලංකාව සම්බන්ධයෙන් තිබුණේ නැහැ. සමහර විට ඒ කාලේ  ලංකාව සංචාරකයන්ට සංචාරය කිරීමට සුදුසු නොවන රටවල් 10 අතර තියෙන්න ඇති. එහෙත් අද සංචාරක ආකර්ෂණය දිනාගන්න අපේ රටට පුළුවන් වෙලා තියෙනවා. යුද ගැටුම් නැති නිසා ලෝකයේ අපිට අයිති පංගුව වෙනුවෙන් සටන් කිරීමට දැන් අපේ රටට  හැකි වී තිබෙනවා. මොන තරම් ස්වභාවික සුන්දරත්වයක් තිබුණත් යුද්ධය පැවති යුගයේ අපට ඒ තත්ත්වය ලබාගැනීමට හැකියාවක් තිබුණේ නැහැ".
     
    "ඒ නිසා අපි මේ ගෙවුණු අවුරුදු 5 තුළ මේ රට අරගෙන ඇවිත් තියෙන්නේ අවුරුදු  තිහක් මේ කලාපයේ රටවල් අතර අපේ රටට නොලැබුණු ස්ථානය සාක්ෂාත් කරගැනීමේ දිශාවට වැටුණු රටක් වෙනුවට නැගිටලා ඉදිරියට යන රටක් බවට අද මේ රට පත් වී තිබෙනවා".
     
    "මේ යුද්ධය මුලදී ම කළා නම් එය අවසන් කරන්න අවුරුදු 4ක් වත් යන්නේ නැහැ. එහෙනම් ඒ අතරතුර කාලේ මියගිය දරුවන්ගේ ජීවිත බිළිදෙන්නට වෙන්නේ නැහැ. මේ කාලය තුළ මොනතරම් නම් ජීවිත බිළි දුන්නද? යුද්දෙ කරනවා යළි සාම සාකච්ඡා කරනවා. නැවත යුද්ධ කරනවා. යළි සාම සකච්ඡා කරනවා. ඔය වගේ චක්‍රයක තමයි එදා මේ රට ගමන් කළේ. ඒ චක්‍රය කැරකුනේ අපේ දරුවන්ගේ මළකඳන් එක්ක. ඒකේ බලශක්තිය වුණේ ලේ. ඒ මියගිය ජීවිතවලට එදා සිටිය පාලකයන් වගකියනවද? හරියට යුද්ධය කළා නම් අවුරුදු තුනෙන් හතරෙන් ඒ කියන්නේ එක්දහස් නවසිය අනූ ගණන්වල ම මේ යුද්ධය අවසන් කරන්න තිබුණා. එහෙම යුද්ධය අවසන් නොකළ පාලකයන් නිසා අපේ දරුවන් දිගටම මැරුණා. ඒ වගකීම අද ඔවුන් ගන්නවද?
     
    ජනාධිපතිතුමා මේ යුද්ධය අවසන් කළේ නැතිනම් තාමත් අපේ දරුවන් මැරෙනවා. එහෙනම් මේ රට දෙපළුවන රටක් බවට පෙරළෙන්නේ නැති ද?  ඒ ගැටුම අවසන් කළ නිසා තමයි අපට ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය වගේ මාතෘකා  පිළිබඳ අවධානය යොමුකිරීමට ඉඩ ලැබී තියෙන්නේ.  ඒ නිසා ජගත් කරළියේ අපිට හිමි ආර්ථික, සමාජීය හා දේශපාලනික ස්ථාන අත්පත් කරගැනීම සඳහා  යන මේ ගමන ඔබ අප සියලු දෙනා එක් වී ශක්තිමක් කළ යුතු වෙනවා".
     
    "2005 වන විටත් මේ රටේ ජනතාව වෙනසක් ඉල්ලුවා.  ඒ වෙනස තමයි මෙතුවක් කල් කරන්න බැරි ව සිටි වැඩේ කරන්න පුළුවන් නායකයෙකුගේ වෙනසක්. කරන්න බැරුව සිටි යුද්ධය කරන්න පුළුවන් නායකයෙකුයි එදා ජනතාව ඉල්ලුවේ. අද ඒ වෙනස ඉටුකරලා ඒ වෙනස  ඉටුකිරීමෙන් නොනැවතී ජාතියේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් ගත යුතු තීරණ අරගෙන මේ රට ඉදිරියට යමින් සිටිනවා.  විවිධ කල්ලි කණ්ඩායම් මේ රටේ  ගමන යළි ආපස්සට හැරවීමට උත්සාහ කළත් මේ රටේ ජනතාව ඒ හතුරු උත්සාහයන් ජයග්‍රහණය කරවීමට සහයෝගය නොදෙන බව ඉතා පැහැදිලියි".
     
    "දශක තුනකට පස්සේ අපි ඒ සමාජ  හා ආර්ථික සංවර්ධනය කියන මාතෘකා ප්‍රමුඛස්ථානයේ  තියාගෙන රටක් වශයෙන්  ගමන්කර ඇත්තේ තවමත් වර්ෂ 5ක් පමණි.  ලෝකයේ  දියුණුවට පත් වූ බොහෝ රටවල් දේශපාලන ස්ථාවරත්වය ඇති කරගෙන  ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ගනු ලැබූ පියවර නිසා තමයි ඒ රටවල් තිබුණු අසරණ තත්ත්වයෙන් උඩට ආවේ.  අතීතයේ අපි නිවාස බහුල ප්‍රදේශ හඳුන්වන්න පාවිච්චි කළේ කොරියාව කියලා. ඒත් අද කොරියාව කියන්නේ ලෝකයේ  ශක්තිමත් ම ආර්ථිකය  තියන රටවල් අතර 12 වන ස්ථානයේ තියෙන රට" යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    විමල් වීරවංශ අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක පළාත් නැඟුම වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 243ක ප්‍රතිපාදන මෙම ශ්‍රවණාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් වෙන් කර තිබේ. විමල් වීරවංශ අමාත්‍යවරයාගේ අධීක්ෂණය යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන්නේ ශ්‍රී  ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසිනි.
     
    කඩුවෙල මැතිවරණ කොට්ඨාසයේ පවතින එක ම ආදර්ශ පිරිමි විද්‍යාලය මෙය වන අතර පාසලේ ඉගෙනුම ලබන ළමුන් 3,000කට අධික පිරිසකට ඔවුන්ගේ විෂය හා විෂය බාහිර හැකියාවන් වර්ධනය කර ගැනීමට අංගසම්පූර්ණ පහසුකම්වලින් සමන්විතව ඉදිකෙරෙන මෙම ශ්‍රවණාගාරය මඟින් හැකියාව ලැබෙනු ඇත.
     
    මෙම අවස්ථාවට  බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, මේජර් ප්‍රදීප් උඳුගොඩ, කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, එහි නාගරික මන්ත්‍රී දීපාල් හෙට්ටිආරච්චි, කඩුවෙල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා තනූජා රන්ගොඩගේ, මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ විදුහල්පති සිසිර ගුණරත්න යන මහත්ම මහත්මීහු ගුරු මණ්ඩලය, ආදි ශිෂ්‍යයෝ, දෙමව්පියෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya