මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර නොවැ: 14 - 15 ජනපති ප්‍රධානත්වයෙන් අරඹනවා

    නොවැම්බර් 12, 2014

    උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර නොවැම්බර් 14 සහ 15 ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (12) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

     

    ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ ඉලක්ක සපුරා යටිතල පහසුකම් වර්ධනය කිරීමත් ඒ අනුව මෙරට මහාමාර්ග පද්ධතිය දියුණු කරමින් අපේක්ෂිත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමත් රජයේ අරමුණ බව මහින්ද චින්තනයේ සඳහන් වේ. ඒ අනුව 2007-2018 දක්වා ජාතික මාර්ග සැලැස්මේ ක්‍රියාත්මක කිරීමට හඳුනාගනු ලැබූ ව්‍යාපෘතියක් වන උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර ඉදිකිරීම් මෙසේ ආරම්භ කරනු ලබයි.


    නොවැම්බර් 14 වෙනිදා පෙ.ව. 10.00ට ගලගෙදර  පිවිසුම, (සෙන්කඩ දොරටුව) පෙ.ව. 11.30 රඹුක්කන පිවිසුම හා ප.ව. 02.00ට ගලේවෙල පිවිසුම හා නොවැම්බර් 15 වෙනිදා පෙ.ව. 10.00ට කුරුණෑගල පිවිසුම යන ස්ථානවල ඉදි කිරීම් කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

     

    පළමු අදියර ලෙස ව්‍යාපෘතිය කොටස්වලට බෙදා ඉදිකිරීමට නියමිතය. ඒ අනුව, උතුරු අධිවේගී මාර්ගයේ;

     

    කොටස 01 - එඬේරමුල්ල සිට වේයන්ගොඩ (කි.මී. 26.0)

    කොටස 02 - වේයන්ගොඩ සිට මීරිගම (කි.මී. 26.0)

    කොටස 03 - මීරිගම සිට නාකලගමුව (කි.මී. 18.0)

    කොටස 04 - නාකලගමුව සිට අලකොලදෙණිය (කි.මී. 20.1)

    කොටස 05 - අලකොලදෙණිය සිට මැද්දෙකැටිය (කි.මී. 16.9)

    කොටස 06 - මැද්දෙකැටිය සිට ගලේවෙල (කි.මී. 19.0) දක්වා ද


    මහනුවර අධිවේගී මාර්ගය

    කොටස 07 - පොතුහැර සිට රඹුක්කන (කි.මී. 17.5)

    කොටස 07 - රඹුක්කන සිට ගලගෙදර (කි.මී. 18.6)

    කොටස 08 - ගලෙගදර සිට ගන්නොරුව (කි.මී. 19.0) දක්වා ද ඉදිකෙරේ.

     

    දේශීය ඉංජිනේරුවන් 100කගේ සැලසුම් හා දේශීය සමාගම් 5ක් යටතේ කොන්ත්‍රාත්කරුවන් යොදාගෙන අවුරුදු 04ක කාල සීමාව තුළදී මෙම ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර ඇත.

     

    මහනුවර නගරයේ ඇති වාහන තදබදය වළක්වාලීම සඳහා ගලගෙදර සිට ගන්නොරුව දක්වාත් ගන්නොරුව සිට තැන්නෙකුඹුර දක්වාත් උමං අධිවේගී මාර්ගයක් ලෙස ඉදි කිරීමට සැලසුම් කර ඇත. ගම්පහ සිට මීරිගම දක්වා වූ කොටස පොළොව මට්ටමට වඩා ඉහළින් (Elevater Road) ඉදිකිරීමට නියමිතය.

     

    මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රධාන නගර අතර කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් පවත්වා ගැනීමට හැකියාව ලැබෙන අතර උතුරු නැගෙනහිර යා කරමින් රට අභ්‍යන්තර ප්‍රදේශ සංවර්ධනය කිරීමට පුළුල් මාර්ග ජාලයක් නිර්මාණය වීම, සංචාරක කර්මාන්තය දියුණු වීම වැනි ආර්ථික වශයෙන් වැදගත් ප්‍රතිලාභ රැසක් අත් කරගැනීමට හැකියාව ලැබේ.

     

    මුළු ව්‍යාපෘතිය සඳහා පිරිවැය රුපියල් මිලියන 500ක් පමණ වන අතර දේශීය හා විදේශීය මූල්‍යමය දායකත්වයෙන් ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂා කෙරේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya