මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය කිරීමට නව ව්‍යාපෘතියක්

    සැප්තැම්බර් 15, 2014
    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා මහර බන්ධනාගාරය එක් ව ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව විසින් "මතට තිත සංකල්පය" යටතේ මහර බන්ධනාගාරයේ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රැඳවියන් පුනරුත්ථාපනය කිරීමේ මත්ලෝලී නිවාරණ ඒකකයේ සමාරම්භක උත්සවය පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරු 2.00ට මහර බන්ධනාගාරයේදී ආරම්භ කිරීමට නියමිතය.
     
    මෙම දීපව්‍යාප්ත ව්‍යාපෘතියේ පළමු පියවර ලෙස මහර බන්ධනාගාරයේ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රැඳවියන් 75ක් හා භාවිතයට යොමු නොවූ රැඳවියන් 25 දෙනෙකු ඇතුළුව රැඳවියන් 100ක කණ්ඩායමක් තෝරාගෙන මාස 6ක් පුරා පුනරුත්ථාපන වැඩසටහන් දියත් කිරීමට අපේක්ෂා කරයි.
     
    භෞතික ප්‍රතිකාරයට වඩා නූතන විද්‍යාවට අනුව ප්‍රජනන චර්යාත්මක වෙනස් කිරීමේ ප්‍රතිකාර තුළින් මත්ද්‍රව්‍ය පිළිබඳ ඇති ආකල්පමය වෙනසක් ඇතිකරවීම මෙම ව්‍යාපෘතියෙන් සිදු කිරීමට සැලසුම් කර ඇත.
     
    මෙම ව්‍යාපෘතිය සිදු කරන මාස 6ක් පුරා තෝරා ගත් රැඳවියන් නියමිත කාලසටහනකට අනුකූලව දෛනික වැඩකටයුතුවල යොදවන අතර උදෑසන ශාරිරීක ව්‍යායාම්, භාවනා, යෝග අභ්‍යාස, ක්‍රීඩා හා සංගීතමය වැඩසටහන්, ගෙවතු වගාව, උපදේශන සේවය, වෙනස් වූ ආහාර රටාව (අනෙකුත් බන්ධනාගාර රැඳවියන්ට සාපේක්ෂව) ඇතුළු ජීවත්වීමට සුවදායක පරිසරයක් ලබා දීම ඊට ඇතුළත් වේ.
     
    ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව ප්‍රමුඛ අන්තරායකර ඖෂධ පාලක සංගමය, ඇඩික් ආයතනය, සර්වෝදය විශ්ව ආයතනය, සුමිතුරෝ ආයතනය, සිරකරු සුබසාධක සංගමය- මහර, මහරගම රෝහලේ වෛද්‍යවරුන්, මනෝ වෛද්‍යවරුන්, උපදේශන නිලධාරීන්, ක්‍රීඩා නිලධාරීන්, සංගීත උපදේශක නිලධාරීන්, පූජ්‍ය පක්ෂය හා අවස්ථාවට අනුකූලව රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මේ සඳහා සම්පත් දායකත්වය හා උපදේශන සේවය ලබා දීමට සැලසුම් කර ඇත.
     
    දඬුවමක් පමණක් ක්‍රියාත්මක කිරීමෙන් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයෙකු ඉන් මුදවා ගත නොහැකි අතර දඬුවම් කාල සීමාවෙන් පසු නැවත සමාජානුගත වීමේදී සුපුරුදු පරිසරයට යොමු වීම හා සමාජය ඔවුන් පිළිබඳ දරන ආකල්පය නිසා නැවත මත්ද්‍රව්‍යට යොමුවීමට ඇති ඉඩකඩ වැඩිය. 
     
    මෙවන් පුනරුත්ථාපනය කිරීමකින් පසු නැවත සමාජානුගත කිරීමෙන් ඒ තත්ත්වය මගහරවා මත්ද්‍රව්‍ය භාවිතය අවම කර විනය ගරුක සෞඛ්‍ය සම්පන්න කණ්ඩායමක් බිහිකරලීමටත්, පවුල් තුළ සමාජ සුරක්ෂිත භාවය හා ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගෙන එම කණ්ඩායම වෙනසකට ලක්කිරීම හා සවිබල ගැන්වීමටත්, භාවිතයට යොමු නොවූ කණ්ඩායමට ශක්තිමත් ව්‍යූහයක් සහිත සුවදායක පරිසරයක් ළඟා කර දීමටත් හැකි වේ.
     
    මෙම ව්‍යාපෘතිය මඟින් මත්ද්‍රව්‍ය භාවිතය නිසා නැවත නැවත බන්ධනාගාරගත වීම වැළැක්වීමට ද අපේක්ෂා කරයි.
     
    බන්ධනාගාර රැඳවියන් සඳහා කරණවෑමී පුහුණු ඒකකය ද මේ අවස්ථාවේදී ආරම්භ කරනු ඇත. 
     
    මෙහිදී පුනරුත්ථාපනය වූ හොඳම නේවාසික සිරකරු, හොඳම නිර්මාණාත්මක නේවාසික සිරකරු සඳහා ද සහතිකපත් බෙදාදීම අමාත්‍යවරයා අතින් සිදු කිරීමට නියමිතය.
     
    අමද්‍යප මහා සභාවේ සභාපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේගේ අනුශාකත්වයෙන් පැවැත්වෙන මේ අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා ද සහභාගී වීමට නියමිතය.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya