අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු - ලංකා අපනයන ප්‍රවර්ධනයට නව සම්මුති යෝජනාවක්

    අගෝස්තු 15, 2014
    ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ භාණ්ඩ අපනයනයේ දී, ඉන්දියාවේ යම් යම් ප්‍රාන්ත රාජ්‍යයන්වලදී ලාංකික සමාගම්වලට මුහුණ පෑමට සිදුවන ගැටලු විසඳා ගැනීමට අන්‍යෝන්‍ය සම්මුතියක් ඇති කිරීමට විධිවිධාන යොදන බැව්, ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස්, අරින්දම් බක්චි මහතා පැවසීය.
     
    නියෝජ්‍ය මහකොමසාරිස් වරයා මේ බැව් පැවසුවේ, ඉන්දු - ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අරමුණින්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා සමඟ පැවති සාකච්ඡාවේදීය. මෙම හමුව පසුගියදා එම අමාත්‍යංශයේ දී පැවැත්විණි.
     
    "මාගේ අමාත්‍යංශය ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ හා මධ්‍යම රජයේ සහය ඇතිව, දෙරට අතර වෙළෙඳ ගනුදෙනු පුඵල් කර ගැනීම සඳහා ඉතා උද්යෝගයෙන් කටයුතු කරනවා. පසුගියදා කොළඔදී පැවති ඒකාබද්ධ කාර්ය සාධන බලමණ්ඩලයේදී ගත් තීරණ ක්‍රියාත්මක කිරීමට හැකිවේ යැයි ද මා විශ්වාස කරනවා. දැනට මූලිකව අවශ්‍ය වී ඇත්තේ භාණ්ඩ හා සේවාවන් පිළිබඳ අන්‍යෝන්‍ය පිළිගැනීම් සම්මුතියක්. මෙවන් සම්මුතියකින් අපනයනවල ප්‍රමිතීන් හා තත්ත්ව පරීක්ෂාවන් පිළිබඳ ව එකඟතාවක් ඇති වෙනවා. එවැනි සම්මුතියක් නොමැති කම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් ඉන්දියානු වෙළෙඳපොළ තුළ ගැටලු රාශියකට මුහුණ පෑමට සිදු ව තිබෙනවා. නිදහස් වෙළෙඳ ගිවිසුමේ උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් ගොඩනැගිය යුතුයි "යැයි අමාත්‍ය බදියුදීන් මහතා මෙහිදී පැවසීය.
     
    ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් පසුව පැවති ද්විපාර්ශ්වික භාණ්ඩ වපසරියට නව භාණ්ඩ සමූහයක් අනතර්ගත කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ බැව් කියා සිටි අමාත්‍යවරයා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළෙඳ ගනුදෙනු 2013 වර්ෂයේදී ඇ.ඩො. බිලියන 3.636ක් දක්වා ප්‍රවර්ධනය වී ඇති බවද සඳහන් කළේය.  
     
    "ශ්‍රී ලංකාවේ ආයෝජකයින් ඉන්දියාවේ සිදුකර ඇති ආයෝජන ඉතා සාර්ථකයි. ඉන්දු - ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම හේතුවෙන් අප දෙරට අතර වෙළෙඳාමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනවා. එහෙත් ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් ඉන්දියාවේ යම් යම් ප්‍රාන්තයන්ට තම භාණ්ඩ බෙදාහැරීමේදී විවිධ ගැටලුවලට මුහුණ දෙන බව මමද පිළිගන්නවා. ඊට හේතුවී ඇත්තේ, ඉන්දීය මධ්‍යම රජය මගින් ඇතිකර ගත් එකඟතා සහ ප්‍රාන්ත රාජ්‍යන්ගේ වෙළෙඳපොළේ ඇති විවිධත්වයන් හා වෙනස් ප්‍රමිතීන් අතර ඇති පරස්පර ස්වභාවයන්. මෙම තත්ත්වය පිටුදැකීම වෙනුවෙන් ද්විපාර්ශ්වික වෙළෙඳ කටයුතු සඳහා අන්‍යෝන්‍ය පිළිගැනීම් සම්මුතියක් අවශ්‍ය බැව් අමාත්‍යවරයා විසින් කරන ලද ඉල්ලීම මා පිළිගන්නවා. අග්‍රාමාත්‍ය, නරේන්ද්‍ර මෝදි මහතාගේ නව ඉන්දියානු රජය සාක් කලාපීය රටවල් සමඟ මිත්‍රත්වය තහවුරු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමුකර තිබෙනවා. එම නිසා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය වඩ වඩාත් ශක්තිමත් කරගැනීමට මෙය ස්වර්ණමය අවස්ථාවක්" යැයි අමාත්‍යවරයා වෙත ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය මහකොමසාරිස් අරින්දම් බක්චි මහතා පැවසීය.
     
    ඉන්දු - ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මගින් දෙරටටම යහපතක් වී ඇති බවත්, එය තවදුරටත් පුළුල් කිරීම හරහා දෙරටටම අමතර අපනයන අවස්ථා උදාකර ගත හැකි බවත් නියෝජ්‍ය මහකොමසාරිස්වරයා මෙහිදී විශ්වාසය පළ කළේය.  
     
    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක, බන්දුල එගොඩගේ, වාණිජ දෙපාර්තමේන්තුවේ අධක්ෂක ජනරාල්, ආර්.ඩී.එස්. කුමාරරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya