අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අසාදු ලේඛනයේ පැවති විදුලිබල මණ්ඩලය අද ලාභ ලබන ආයතනයක්

    අගෝස්තු 15, 2014
    වසර ගණනාවක් පුරා කෝප් වාර්තාවේ (පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව) අසාදු ලේඛනයේ පැවති ලංකා විදුලිබල මණ්ඩලය අද වන විට ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි. 
     
    අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය හමුවේ මෙවැනි පරිවර්තනයක් සිදුවී ඇති බවය.
     
    අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව කියා සිටියේ පසුගියදා පැවති 
    කොළොන්න මැතිවරණ කොට්ඨාසයේ ඇරෑපෝරුව, පහළ වලකඩ  හා දික්වෙල, කටුවෙදමැද,  මාදන විදුලි යෝජනා ක්‍රම ජනතා අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවන්ට එක්වෙමිනි. රුපියල් ලක්ෂ 400ක් පමණ වැය කරමින් ඉදිකරන ලද මෙම විදුලි යෝජනා ක්‍රම මගින්, නිවාස 250කට පමණ විදුලිය සැපයේ.
     
    ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය 2013 වසරේ සැලකිය යුතු ලාභයක් ලැබූ බවත් 2014 වසරේ දී ද එවැනි ලාභයක් අපේක්ෂා කරන බවද අමාත්‍යවරිය පැවසුවාය.
     
    "ජනාධිපතිතුමා මේ අමාත්‍යංශය මට බාරදීලා කිව්වේ, 2014 අවසන් වෙද්දි මුළු රටටම විදුලිය දෙන්න කියලා. ගමක ඉපදුන, ගමේ ජනතාවට ආදරය කරන නායකයෙක් විදිහට එතුමා දන්නවා, ගමේ පොඩි මිනිහා විදුලිය නැතිව විඳින දුක. ඒ නිසා තමයි ගමට විදුලිය දෙන්න ක්‍රියාත්මක වුණේ. ජනාධිපතිතුමා සැබෑවට ම දරුවන්ට ආදරෙයි. ගැමියෙක් විදිහට එතුමා දන්නවා මඩවගුරේ බැහැලා, සපත්තු අතේ අරන් පාසල් යනකොට දරුවන් විඳින පීඩාව. කුප්පි ලාම්පුවෙන් පාඩම් කරද්දි තියෙන පීඩාව. ඒ නිසා තමයි එතුමා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තේ, ගම සංවර්ධනය කරන්න".
     
    "අපේ රටේ නායකයාගේ බලාපොරොත්තුව තමයි, අම්මලා තාත්තලා ඉන්න තැන්වලට වඩා ඉහළ තැනකට අපේ දරුවෝ ගෙන ඒම. අපේ ජනතාවගේ හිත් හයියයි. පණ හයියයි. කොන්ද කෙලින්. කිසිම දේකින් සැලෙන්නේ නැහැ. මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන්. එහෙම දෙමව්පියන්ගේ දරුවන්ට ජන්මයෙන් උරුම වුණ ගුණාංගවලට යම් පන්නරයක් ලබාදුන්නම, ඒ දරුවෝ නවතින තැන හිතන්නත් බැහැ". 
     
    "අද අපේ රට නැගිටිමින් සිටිනවා. අතිදුෂ්කර ගම් පවා සංවර්ධනය වෙමින් පවතිනවා. මේ වසර අවසන් වෙද්දි රටේ විදුලියනය 100%ක් බවට පත්වෙනවා. විදුලිබල පනත වෙනස් කළා. ගෙවල් ළඟටම කණු සිටුවීමේ වගකීම ලංකා විදුලිබල මණ්ඩලයට පැවරුවා. එතනින් නැවතුණේ නැහැ. මහපොළවත් සමග පොරබදන අපේ අහිංසක දුප්පත් ජනතාවට ගේ ඉදිරිපිට තිබෙන විදුලි කණුවෙන් විදුලිය ලබාගැනීමටවත්, තම නිවාස වයරින් කරගැනීමටවත් ශක්තියක් නැහැ. ඒ ගැටලුව විසඳන්න තමයි, වසර 6කින් විදුලි බිලත් සමග ගෙවිලා ඉවර වෙන්න, රුපියල් 40,000.00ක ණයක් ලබාදෙන්න අපි තීරණය කළේ. ඒ මුදල විදුලිබිල සමඟ ගෙවිලා යන්න සකස්කර තිබෙනවා. ආර්ථික දුෂ්කරතා පවතින ග්‍රාමීය ජනතාවට විදුලිය ලබාගැනීම සඳහා 
    සහන වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වෙනවා. විදුලිය බෙදාහැරීම සාර්ථකව සිදුකිරීමෙන් ජන ජීවිත තුළ ආර්ථික හා සමාජයීය මෙන්ම සංස්කෘතිකමය වශයෙන් ද සැබෑ පරිවර්තනයක් සිදුවෙනවා". 
     
    "විදේශ ගෘහ සේවයට යන පිරිස මේ වනවිට 38%කින් අඩු වෙලා. එංගලන්තය හැරුණම ගණකාධිකාරිවරු වැඩියෙන්ම පිටරට යන රට ලංකාව බවට අද පත්වෙලා.
    ලංකා විදුලිබල මණ්ඩලය වසර ගණනාවක් පාඩු ලැබුවා. කෝප් වාර්තාවේ පාඩු ලබන ආයතන අතරට ලං.වි.ම. එක්වුණා. නමුත් පසුගිය වසරේ ලං.වි.ම. සැලකිය යුතු ලාභයක් ලැබුවා. මේ වසරේදීත් ඒ ආකාරයෙන් ලාභ ලබන තත්ත්වයකට පත් කරන්න අපේ අතිගරු ජනාධිපතිතුමාගේ, දූරදර්ශී පාලන ක්‍රමවේදයට හැකිවෙලා තිබෙනවා" යැයිද වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
     
    මෙම අවස්ථාවට සබරගමුව පළාත් සභා සභාපති කංචන ජයරත්න, කොළොන්න ප්‍රාදේශීය සභා සභාපති දයා පතිරණ, උප සභාපති චින්තක පතිරණ යන මහත්වරු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගී වූහ. 
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya