මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒඩ්ස් රෝගය සුවකළ හැකි බවට කරන ව්‍යාජ ප්‍රචාරණවලට රැවටෙන්න එපා

    ඔක්තෝබර් 31, 2014

    ආයුර්වේද හා හෝමියෝපති වෛද්‍යවරුන් ඒඩ්ස් රෝගය තමන්ට සුවකළ හැකි බවට කරන ව්‍යාජ ප්‍රචාරණවලට නොරැවටෙන ලෙසත් ඒඩ්ස් රෝගය වැළඳුණු ආසාදිතයන් සෙවීම සඳහා බලහත්කාරයෙන් පුද්ගලයන්ගේ රුධිර පරීක්ෂාවට හැකියාවක් නැති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.


    ශ්‍රී ලංකාවේ නේවාසික වීසා සඳහා අයදුම්කරන පුද්ගලයන්, ලේ දන් දෙන අය හා සායනවලට එන මව්වරුන් මේ පරීක්ෂාවට ලක් කරනු ඇත. මේ වන විට සමාජයේ හඳුනාගත් ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව 2009කි. ඉන් 359ක් මියගොස් ඇත. මේ වන විට ඒඩ්ස් රෝගීන් 772ක් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා බව ද ඔහු කීය.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (31) පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    දිස්ත්‍රික් 09ක රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබන මේ රෝගීන්ගෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 04කට වැඩි මුදලක් වැය කෙරේ. ඒඩ්ස් රෝගය වැළඳීම නිසා වෙනත් රටවලින් පිටුවහල් කළ රෝගීන් 43ක් යාපනයේ සිටින බවට පී. හැරිසන් මහතා කළ ප්‍රකාශයේදී අමාත්‍යවරයා කීවේ එවැනි තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති බවත් මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන බවත්ය.

    රටේ සිටින අය හෝ රටට එන අය බලහත්කාරයෙන් පරීක්ෂා කළ නොහැකි බවත් එසේ කළහොත් එය තමන්ට සිදු වූ අවමානයක් ලෙස සලකා රජයට එරෙහි ව නඩු පැවරීමට ද ඉඩ ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒඩ්ස් රෝගය පිළිබඳ ව තොරතුරු සැඟවිය යුතු නැති අතර මෙහි අන්තරායක් ඇති බවට සමාජය දැනුවත් කිරීමෙන් රෝගය පැතිරීම වළක්වා ගත හැකි බව ද ඔහු කීවේය.

    මෙයට ලෝකයේ කොහේවත් ප්‍රතිකාරයක් සොයා ගෙන නැහැ. ඇතැම් ආයුර්වේද හා හෝමියෝපති වෛද්‍යවරුන් ඒඩ්ස් රෝගය තමන්ට සුවකළ හැකි බවට කරන ව්‍යාජ ප්‍රචාරණ නිසා ආසාදිතයන් රෝහල්වලින් ප්‍රතිකාර ලැබීමට ඉදිරිපත් නො වේ. මෙවැනි ප්‍රචාර නතර කිරීමට නීතිමය විධිවිධානත් නැහැ. ප්‍රතිකාර ලබන අයගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට ද මෙහි වැඩපිළිවෙළක් තිබේ. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ඒඩ්ස් රෝගීන් 451ක්, ගම්පහ රෝගීන් 63ක්, මහනුවර 32ක්, කළුතර 13ක්, ගාල්ල 32ක්, කුරුණෑගල 14ක්, අනුරාධපුර 08ක්, පොලොන්නරුවෙන් 07ක් හා යාපනයෙන් 06ක් ලෙස රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒඩ්ස් ආසාදිතයන් පෞද්ගලික අංශයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි විට ඔවුන් රජයේ රෝහල්වල ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ම යොමු කරන බව ද රෝගය පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීම විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya