මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය මර්දනයේ විශේෂ වැටලීම් නිලධාරීන්ට ජනපති සම්මාන

    අප්‍රේල් 06, 2016

    මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන සහ විශේෂ වැටලීම්වලට දායකවන සියලු නිලධාරින්ට ජනාධිපති සම්මාන ප‍්‍රදානය කිරීමේ වැඩසටහනක් මේ වසරේ සිට කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පැවසීය.

    එමෙන්ම ඔවුන්ගේ උසස්වීම් පිළිබඳව ප‍්‍රමුඛතාවයක් ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඊයේ (05) පස්වරුවේ කුරුණෑගල මාළිගාපිටිය කි‍්‍රඩාංගණයේ පැවති මතින් නිදහස් රටක් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට එක් වෙමිනි.

    “මතින් නිදහස් රටක්“ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ පස්වන අදියර කුරුණෑගල දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් කි‍්‍රයාත්මක කෙරුණු අතර එහි ප‍්‍රධාන උත්සවය මෙලෙස කුරුණෑගල මාළිගාපිටිය කි‍්‍රඩාංගණයේදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධාත්වයෙන් පැවැත්විණි.

    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අද මුළු ලෝකයටම මහත් උවදුරක් වූ මත්ද්‍රව්‍ය පාලනය සහ මර්දනය වෙනුවෙන් සෑම දෙනාගේම පුළුල් අවධානයක් යොමුව තිබෙන බවයි.

    මතින් නිදහස් රටක් බිහිවීමටනම් පළමුව මතින් නිදහස් පවුලක් බිහි විය යුතු බවත්, සෑම පවුලක්ම මතින් නිදහස් වන විට මතින් නිදහස් ගමක් ගොඩනැගෙන අතර, එයින් මතින් නිදහස් රටක් බිහිවන බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    මතින් නිදහස් රටක් වැඩසටහන සාර්ථක කර ගැනීමට රාජ්‍ය නිලධාරින්ට වැඩි වගකීමක් පැවරී තිබෙන බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය මර්ධනය සහ පාලනය වෙනුවෙන් දෛනිකව වෙනම පැය ගණන් වෙන් කර ඊට සිය සකී‍්‍රය දායකත්වය ලබාදීමට පොලීසිය කැපවිය යුතු බව ප‍්‍රකාශ කළේය.

    දිස්ති‍්‍රක් සහ ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී අදාළ දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන්වල ප‍්‍රගතිය සාකච්ඡාවට ලක් කිරීමට උපදෙස් ලබාදී ඇතැයිද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ “මෛතී‍්‍ර පාලනයක් – ස්ථාවර රටක්“ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුකූලව මතින් නිදහස් ශී‍්‍ර ලංකාවක් බිහි කිරීම මගින් ආර්ථික, සමාජීය හා සංස්කෘතික සංවර්ධනයට පසුබිම සැකසීමේ අරමුණින් ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් මතින් නිදහස් රටක් ජාතික වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.

    පාසල් සිසුන්, සිවිල් සංවිධාන, මත් ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කටයුතු කරනු ලබන පුරවැසියන් සහ ජනමාධ්‍යවේදින් ඇතුළුව සිවිල් සහ රාජ්‍ය අංශය නියෝජනය කරන සියලූදෙනාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මතින් නිදහස් රටක් ජාතික වැඩසටහනේ පළමු අදියර ගම්පහ දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණු අතර දෙවන අදියර ගාල්ල දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමිනුත්, තුන්වන අදියර කෑගල්ල දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමිනුත්, සිව්වන අදියර කොළඹ දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමිනුත් පැවැත්විණි.

    අද කුරුණෑගල මාළිගාපිටිය කි‍්‍රඩාංගණයේ පැවති මෙම වැඩසටහනට මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, දයාසිරි ජයසේකර, එස්.බී. නාවින්න, රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින්ද කුරුණෑගල දිස්ති‍්‍රක් ලේකම් ගාමිණි ඉලංගරත්න, වයඹ පලාත් ප‍්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිළධාරින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya