අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැතිතුමාගේ ශෝක පණිවුඩය

    මාර්තු 11, 2016

    අස්ගිරි මහා විහාර වංශික සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර විසි එක් වැනි මහා නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ වන අග්ගමහා පණ්ඩිත පරම පූජනීය ගලගම අත්ථදස්සී මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ගේ අපවත් වූ පුවත දැනගන්නට ලැබීමෙන් මම මහත් සංවේගයට පත් වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිඩුයක් නිකුත් කරමින් සඳහන කරයි.

    සම්පූර්ණ පණිවුඩය පහත සඳහන් වේ.


    “ශෝක පණිවුඩය

    අස්ගිරි මහා විහාර වංශික සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර විසි එක් වැනි මහා නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ වන අග්ගමහා පණ්ඩිත පරම පූජනීය ගලගම අත්ථදස්සී මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ගේ අපවත් වූ පුවත දැනගන්නට ලැබීමෙන් මම මහත් සංවේගයට පත්වීමි. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ නව නේතෘවරයාණන් ලෙස මහා නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ තේරී පත් වී නව මසක් ඉක්ම යන්නට මත්තෙන් සිදු වූ මේ හදිසි අපවත් වීම ලක්වැසි සැමට මහත් සංවේගදායක අවස්ථාවක් වන බව දනිමි.

     

    1922 වසරේ ජනවාරි 11 වෙනි දා ගලගම දී උපත ලද මහා නායක හිමිපාණෝ මාතලේ යටවත්ත වීර පරාක්‍රමබාහු මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා, 1936 වසරේ පැවිදි බිමට සැපත් වූහ. විශිෂ්ඨ සාමාර්ථ සහිතව පිරිවෙන් අධ්‍යාපනය නිම කළ මහා නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ රාජකීය සද්ධර්මාචාර්ය, අභිධර්මාචාර්ය, ත්‍රිපිටාකාචාර්ය, මජ්ජිම භාණක ආදී වූ උපාධි ගණනාවකින් ද පිදුම්  ලැබූහ. එමෙන්ම පාලි, සංස්කෘත, සිංහල, දෙමළ ආදී භාෂා ගණනාවක් පිළිබඳ හසල දැනුමැති වූහ.

    මහා නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ධර්ම ශාස්ත්‍ර හැදෑරූ මාතලේ ශ්‍රී ධර්මරාජ පිරිවෙණේ වසර 14 ක් ගුරුවරයකු ලෙස සේවය කළ අතර, කවටයමුණ ශ්‍රී ධර්ම ශ්‍රී පිරිවෙනෙහි පරිවෙණාධිපති ලෙස ද සේවයෙහි යෙදෙමින් උගත් ගිහි පැවිදි ශිෂ්‍ය පරපුරක් දැයට තිළිණ කළ දක්ෂ ආචාර්යවරයෙකි. ධර්ම ශාස්ත්‍ර  ඥානය බෙදා දෙමින් ශාසනික, අධ්‍යාපනික ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටු කරමින් සිටියදී, අප නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ විහාර සහ නිකාය පරිපාලන කටයුතුවලට යොමුවන්නේ කාලීන අවශ්‍යතාවන්ට, අභියෝගයන්ට නොසැලී මුහුණ දෙමිනි.

    ධර්ම ශාස්ත්‍ර අධ්‍යයනයෙන්, ධර්ම විනයෙන්, ශාසනික සේවාවන්හි පරිණත වෙමින් 1942 වසරේ දී උපසම්පදාව ලද මහා නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ නිකාය තුළ තනතුරු රැසක් හොබවමින්, 1999 වසරේ අස්ගිරි මහා විහාර අනුනායක ධූරයට ද, 2015 වසරේ දී මහා නායක ධූරයට ද පත් වූහ.

     

    තෛනිකායික සමඟිය අගයමින්, ඒ සඳහා කැපවෙමින් කටයුතු කළ උන්වහන්සේ සමස්ත භික්ෂුන් වහන්සේලා ගේ නොමඳ ආදරයටත්, ගෞරවයටත් පාත්‍ර වූහ. සුළුතර පිරිසකගේ අන්තවාදී මතවාද, අදූරදර්ශි ක්‍රියා පිළිවෙත් නිසා සංඝ සමාජය තුළ මතු වී ඇති ගැටලූ නිරාකරණය කිරීමටත්, භික්ෂුත්වයේ ගෞරවණීය යහපැවැත්ම තහවුරු කිරීමටත් භික්ෂු කතිකාවත ඇති කිරීම සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කළහ.


    නව රජය පත්වීමත් සමඟ ඇති වූ සමාජ දේශපාලන වෙනස පිළිබඳව මහත් ප්‍රසාදයට පත් වූ පරම පූජනීය ගලගම අත්ථදස්සී මහා නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ බහුජන හිත සුව පිණිස සැබෑ මහා තෙර නමක් ලෙස රටේ යහපත මෙන් ම, ශාසනික දියුණුව උදෙසා ද ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අප සමඟ සාකච්ඡා කළහ. මා සමඟ ඉතා සමීපව කටයුතු කරමින්, මගේ දේශපාලන ගමන් මඟට ද විටින් විට අවවාද අනුශාසනා ලබා දෙමින් ලබා දුන් ශක්තිය, ධෛර්යය ද මේ අවස්ථාවේ දී කෘතවේදීව සිහිපත් කරමි.

     

    වසර 80 ක් ඉක්ම වූ පැවිදි දිවියේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින්, අස්ගිරි මහා විහාර පාර්ශවයටත්, සම්බුද්ධ ශාසනයටත්, රට දැයට සහ සමස්ත සමාජයටත් මහා නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ඉටු කළ මෙහෙවර අතිශය අගය කටයුතු ය.

     

    බුදු සසුනත්, සංඝ සමාජයත් බැබළ වූ, පරමාදර්ශී, සුපේශල ශික්ෂාකාමී උතුම් සඟමිණක් වූ අපවත් වී වදාළ පරම පූජනීය ගලගම අත්ථදස්සී මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා යි ප්‍රාර්ථනය කරමි.


    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය
    2016 මාර්තු 11“

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya