අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ වංචා දූෂණ වැළැක්වීමට දැඩි තීන්දු තීරණ කි‍්‍රයාත්මක කරන බව ජනපති පවසයි

    මාර්තු 02, 2016

    බස් රථ හිමිකරුවන්ගෙන් සහ රියදුරන්ගෙන් කප්පම් ගැනීම වැළැක්වීම සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙළක් වහාම කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිතුමා පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිවල සභාපතිවරුන්ට උපදෙස් දුන්නේ ය.

    කලක සිට පවතින මෙම දූෂිත තත්ත්වය පිළිබඳ නව රජයේ විශේෂ අවධානයක් යොමුව තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා රටේ සියලු ක්ෂේත‍්‍රවල වංචා, දුෂණ, අක‍්‍රමිකතා මෙන්ම අයහපත් තත්ත්වයන් වෙනස් කිරීමට පත්වූ රජයක් ලෙස ඉදිරියේදී ඒ පිළිබඳවද දැඩි තීන්දු තීරණ ගන්නා බව ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ ගැටලු පිළිබඳ පසුගිය දා  පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.

    පසුගිය රජයන් මෙම කටයුත්තට අත නොගැසුවද සියලු ක්ෂේත‍්‍රවල මෙන්ම ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේද වංචා දූෂණ වැළැක්වීමට නව රජය නොබියව මැදිහත් වන බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

    දිවයිනේ පළාත් 09 ම නියෝජනය කරමින් පළාත් ප‍්‍රවාහන අමාත්‍යවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර ඒ ඒ පළාත්වලට අදාළ ගැටලු පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.

    පළාත් 09 ක් ලෙස කටයුතු කළද රට වශයෙන් කි‍්‍රයාත්මක විය යුත්තේ එකම ප‍්‍රතිපත්තියක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ ගැටලු නිරාකරණය කර ගැනීමට සියලුදෙනා එක ප‍්‍රතිපත්තියක් යටතේ කැපවිය යුතු බවද ප‍්‍රකාශ කළේය.

    ඒකාබද්ධ කාලසටහනක් කි‍්‍රයාත්මක වුවත්, බොහෝ අවස්ථාවල එකවර බස් රථ ධාවනය වීම හා පෞද්ගලික බස් රථ මන්දගාමීව ධාවනය කිරීම හේතුවෙන් අපේක්ෂිත ආදායම් ඉලක්ක ළඟා කර ගැනීමට නොහැකිවීම, කොළඹ නගරය තුළ බස් රථ ගාල් කිරීමේ ස්ථානවල පවතින අවහිරතා, පර්යන්ත පහසුකම් නොමැතිවීම, කෙටි දුර ධාවන බස් රථ සහ දුර සේවා සඳහා වෙනම බස් නැවතුම්පළවල් නිර්මාණය කිරීම ආදී කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

    පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරි කාර්යාල නිලධාරින් මුහුණ පා සිටින ගැටලුද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කෙරිණි.

    ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රමුඛ පළාත් ප‍්‍රවාහන අමාත්‍යවරුන්ද, ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා සහ පළාත් අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

     

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya