මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොටි හිතවාදී උත්සාහයට ජාතික බලවේගවල ඇතැම් කණ්ඩායම් කරගහන තත්ත්වයක් උදා වෙලා Featured

    නොවැම්බර් 19, 2014
    කොටි හිතවාදී ඩයස්පෝරාවට නැටවිය හැකි දුර්වල, පාලකයකු තැනීමට දුෂ්ඨ පාපී බලවේග දරණ උත්සාහයට රටේ ජාතික බලවේගවල ඇතැම් කණ්ඩායම් ද කරගහන තත්ත්වයක් අද නිර්මාණය වී ඇති බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. 
     
    මේ සතුරු  බලවේග අද කැලේ ගසක් නැසීමට කැලේ ගසක් ම යොදාගනිමින් සිටින බවත් යුද්ධය ජයග්‍රහණය කර සතියෙන් යුධ හමුදාපතිවරයා බාගත් තානාපති කාර්යාලවලට තව තව අය බාගැනීමට බැරි නැති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රුපියල් මිලියන 1255.5 වියදමින් ඉදි කළ නිවාස 288 කින් සමන්විත මොරටුව අඟුලාන “ සයුරු පුර ” මහල් නිවාස ව්‍යාපෘතිය අතිගරු ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් කළ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම උත්සවය ඊයේ (18) දින මොරටුව අඟුලාන ප්‍රදේශයේ දී පැවැත්විණ.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “අද මේ රටට හතුරු කණ්ඩායම්වලට අතිගරු ජනාධිපතිතුමාව පේන්නේ මේ රටට සාමය දිනා දුන් නායකයා  විදිහට නොවෙයි. ඒ අයට ජනාධිපතිතුමාව පේන්නේ ඒකාධිපති නායකයෙක් විදියට. ප්‍රජාතන්ත්‍ර විරෝධී නායකයෙක් හැටියට. හදිසි නීතිය තියාගෙන වධකාගාර පවත්වමින් උතුරේ හා දකුණේ තරුණයන් බුරුතු පිටින් මරපු අය අද ප්‍රජාතන්ත්‍රවාදීන් වෙලා තියෙනවා. මේක පුදුම උඩ යට මාරුවීමක්. හදිසි නීතිය ඉවත් කළ නායකයා ඒකාධිපති වුණේ කොහොමද? ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ අහිතකර වගන්ති සංශෝධනය කළ නායකයෙක් මැතිවරණ ඉල්ලන්න කලින් දෙන නායකයෙක් ඒකාධිපති රෙජිමයක් වුණේ කොහොමද? මේ ඒකාධිපති රෙජිමය කියන පාඨය මුලින් ම ගෙනාවේ කොටි. කොටි ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම අවසන් කළ දිනයට පසුව තමයි දෙමළ ඩයස්පෝරාව රාජපක්ෂ ජනාධිපතිතුමා ඒකාධිපතියෙක්, ඒකාධිපති රෙජිමයක් කියන හංවඩුව ගැහුවේ. දැන් ඒ කොටි පටන්ගත්ත කතාව කොටියාගේ හැංගිච්ච ගජ මිතුරෝ ටික ඔවුන්ගේ ශ්‍රී මුඛයෙන් අද දෙසා වදාරනවා. යුද්ධය අවසන් වූ දිනයේ සිට අතිගරු ජනාධිපතිතුමාගේ රුව විකෘති කරලා, එතුමාගේ රුව හිට්ලර්ගේ රුවට සමාන අයුරින් හදලා, ඊමේල් 
    හරහා එය ප්‍රචාරය කරලා ලෝකය පුරා මත පතුරවලා, ඒ අයට තමයි උවමනාව තිබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒකාධිපතියෙක්, ශ්‍රී ලංකාවේ තියෙන්නේ ඒකාධිපති රෙජිමයක් කියන මතය නිර්මාණය කරන්න. ඒවම තමයි අද මේ ඊනියා විරුද්ධ පක්ෂය අතට ගත් සටන්පාඨ බවට පත් වී තියෙන්නේ. ඔවුන්ට දෑ හිතකාමී සටන් පාඨයක් තියෙනවාද ? නැහැ.
     
    අපි චීනය සමග වෙළඳ ගිවිසුමක් අත්සන් කළා. චීනයේ සුවිශාල වෙළෙඳපොළ අද අපේ රටට විවෘත වෙලා තියෙනවා. මේ රටේ ගම් 300ක කර්මාන්ත 300ක් ලබන වර්ෂයේ දී ආරම්භ කිරීමට ජනාධිපතිතුමා මෙවර අය-වැය යෝජනා තුළින් පොරොන්දු වුණා. මේ විවෘත වුණු මාර්ගය හරහා අපේ දේශීය ව්‍යවසායකයන් චීන වෙළෙඳපොළට පිවිසීමට කටයුතු කරමින් සිටිනවා. අද රටේ සාමය හා ස්ථාවරත්වය තියෙනවා. මිනිසුන් අතර සුහදත්වය වර්ධනය වෙනවා. උතුර හා දකුණ එක් කරමින් අධිවේගී මාර්ග තැනෙනවා. යාල්දේවී දුම්රිය අද ආයෙත් යාපනයට සිය ගමන අරඹා තියෙනවා. මේ යාල්දේවිය තව අවුරුදු 10 ක් යාපනයට යන්න එපාද ? අධිවේගී මාර්ගය ඔස්සේ උතුර දකුණ ළංවෙන්න එපාද ? යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    “මහින්ද චින්තන ඉදිරි දැක්ම”අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන “ජනසෙවණ” ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය (USDA) විසින් මෙම මහල් නිවාස ව්‍යාපෘතිය ඉදිකර තිබේ. මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසිනි.
     
    මේ නිවාස ව්‍යාපෘතිය සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය වැයකර ඇති මුදල රුපියල් මිලියන 1255.5 කි. මෙහි එක් නිවසක් වර්ග අඩි 538 කින් සමන්විත වේ. එම එක් නිවසක් විසිත්ත කාමරයක්, නිදන කාමර 2ක්, මුළුතැන්ගෙයක්, නාන කාමරයක්, වැසිකිළියක් හා බැල්කනියකින් සමන්විත වේ. 
     
    මෙම මහල් නිවාස ව්‍යාපෘතිය පළමු හා දෙවන අදියර යනුවෙන් අදියර 2කින් ඉදිකර තිබේ. පළමු වන අදියර නිවාස 135කින් ද  දෙවන අදියර නිවාස 153කින් ද සමන්විත වේ.
     
    මෙම අවස්ථාවට තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, එහි අතිරේක ලේකම් (නිවාස) කේ.ඒ. තිලකරත්න, යන මහත්වරු, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, නිවාසලාභීහූ, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya