අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශිෂ්ටතම ජාතික ඉ-නිර්මාණ සම්මානය 'e-තක්සලාව'ට

    නොවැම්බර් 13, 2014

    2009 වර්ෂයේ සිට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘e-swabimani’ National Best e-Content Award හෙවත් විශිෂ්ටතම ජාතික ඉ-නිර්මාණ සම්මානයෙන් 2014 වර්ෂයේ 'e-Learning and Education' කාණ්ඩයේ හොඳ ම නිර්මාණය ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව මඟින් නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන 'e-තක්සලාව' ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ  පද්ධතිය සම්මානයට ලක්විය.


    මෙම සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    එහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවේ අධ්‍යක්ෂ ජී.එම්. නීල් ගුණදාස සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සුමුදු විජේසූරිය යන මහත්ම මහත්මීන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් මෙම සම්මානය ලබාගන්නා ලදී.

    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි ද්විතීයක පාසල් 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයේ ඉ-ඉගෙනුම් ක්‍රමෝපායන් මඟින් සමස්ත සාමාන්‍ය අධ්‍යාපනය බලාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හඳුන්වාදෙනු ලැබූ 'e-තක්සලාව' ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් 2013 පෙබරවාරි 18 වැනි දින ගුරු, සිසු අයිතියට පැවරිණි.

    මෙම ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය සඳහා 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු ම විෂයයන් සඳහා සිංහල, දෙමළ යන භාෂා දෙකෙන් ම පෙළපොත, විෂය නිර්දේශ, ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ, විෂයානුබද්ධ මෘදුකාංග, ප්‍රශ්න උත්තර සංචිත, සිසු සටහන් පොත්, පුනරීක්ෂණ ප්‍රශ්නපත්‍ර, පසුගිය වාර විභාග ප්‍රශ්නපත්‍ර, ජාතික මට්ටමේ විභාග (අ.පො.ස (උ/පෙළ) /අ.පො.ස (සා.පෙළ) ) ප්‍රශ්නපත්‍ර, පිළිතුරුපත්‍ර, අමතර කියවීම් ඇතුළත් කිරීම මූලික වශයෙන් සිදු කෙරෙන අතර මේ වන විට 1 සිට 5 ශ්‍රේණි දක්වා මෘදුකාංග සම්පූර්ණ කර ඇතුළත් කර ඇත. එසේම 6 සහ 10 ශ්‍රේණි සඳහා වන විෂය මාලාවෙන් 75%  පමණ ආවරණය කර ඇති අතර 6 සිට 11 ශ්‍රේණිය දක්වා විභාග ප්‍රශ්නපත්‍ර ඇතුළත් කර ඇත. මෙම වෙබ් අඩවිය දිනපතා යාවත්කාලීන වන අතර මේ වන විට පරිශීලකයින් 5000 ක් පමණ මේ තුළ ලියාපදිංචි වී ඇත. දිනකට පරිශීලකයන් 60,000 – 90,000ක් අතර ප්‍රමාණයක් වෙබ් අඩවිය පරිශීලනය කරනු ලබයි.

    ඉ-ස්වාභිමානී 2014 තරගය සඳහා e-Learning and Education කාණ්ඩය යටතේ ඉල්ලුම් කළ නිර්මාණ අතරින් අවසාන වටයට තේරීපත් වූ නිර්මාණ 5 න් හොඳම නිර්මාණය ලෙස ඉ-තක්සලාව තේරීපත් වීම අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස ලද විශිෂ්ට ජයග්‍රහණයකි. මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ දැනුම් කේන්ද්‍රය (Knowledge hub) ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන යාමේ නව පියවරක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරියට තබා ඇති බව තහවුරු කරමින් ඉ-ස්වාභිමානී සම්මානයෙන් නොනැවතී දකුණු ආසියානු සහ ආසියානු පැසිපික් කලාපය ආවරණය කරමින් පවත්වනු ලබන e-නිර්මාණ ඇගයීමේ තරගය වන ‘Manthan Award’ සඳහා ද “e-තක්සලාව” නම යෝජනා වී තිබීම ශ්‍රී ලංකාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තර කීර්තියට පත් වීම සනිටුහන් කරයි. මෙලෙස ඉදිරිපත් කරන ලද නාමයෝජනා අතුරින් එම තරගයේ ද e-Learning and Education කාණ්ඩයේ අවසන් වටයේ තරගකරුවන් අතරට තේරී පත් වීම ද සුවිශේෂී ජයග්‍රහණයකි.

    e-තක්සලාව සඳහා වූ මෙම ජයග්‍රහණය ඉතා සුවිශේෂී වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වයෙන් සිදුකිරීමත් සහ එය සම්පූර්ණයෙන් ම රජයේ පාසල්වල උගන්වනු ලබන දේශීය ගුරු භවතුන්ගේ දැඩි කැපවීමකින් යුතුව සමස්තයම නිර්මාණය වී ක්‍රියාත්මක කරනු ලබන ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතිය ද වන බැවිනි. මෙම ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවන් වන්නේ මෙම අභියෝගාත්මක නිර්මාණකරණය සහ පද්ධතිය ස්ථාපිත කර පවත්වාගෙන යාම සඳහා වෙහෙස වන දේශයේ ගුරුභවතුන් වේ.

    NDH/moe

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya