අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ද්වීපාර්ශ්වීය වෙළෙඳ ගිවිසුමකට ශ්‍රී ලංකා - බංග්ලාදේශ් සාකච්ඡා Featured

    නොවැම්බර් 13, 2014
    ද්වීපාර්ශ්වීය වෙළෙඳ සම්මුතියක් සඳහා දැනට සිදු කෙරෙන සාකච්ඡා අවසන් වූ විගසම ශ්‍රී ලංකාව සමඟ අදාළ ගිවිසුම අත්සන් කිරීමට තම රට බලාපොරොත්තුවෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ නව බංග්ලාදේශ් තානාපති, තරික් අශාන් මහතා පැවසීය.
     
    තානාපතිවරයා මේ බැව් පැවසුවේ, බංග්ලාදේශ් - ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වීය වෙළෙඳ කටයුතුවල වත්මන් තත්ත්වය හා එහි ප්‍රගතිය පිළිබඳ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා සමඟ පැවති සාකච්ඡාවන්හිදීය. මෙම හමුව පසුගියදා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී පැවැත්විණි.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තානාපතිවරයා, "පසුගිය සැප්තැම්බර් 23 වන දින අප දෙරට අතර පැවති සාකච්ඡා මත පදනම් ව අපගේ ප්‍රතිචාර ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා රජයට දැනුම් දීමට අප බලාපොරොත්තුවෙන් සිටිනවා. ද්වීපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක් සඳහා වන එම සාකච්ඡාවන් දෙරටට ම වාසිදායක ලෙස තීරණය වනු ඇතැයි මා විශ්වාස කරනවා. මේ සඳහා වන සම්මුතීන් හා ක්‍රියාපටිපාටිය පිළිබඳ ව දැනට සිදුකෙරෙන සාකච්ඡා අවසන් වූ විගස ම ශ්‍රී ලංකාව සමඟ අදාළ ගිවිසුම සඳහා අත්සන් කිරීමට තම රට බලාපොරොත්තුවෙන් පසුවනවා.
     
    මා ශ්‍රී ලංකාවේ සේවය සඳහා පැමිණීමට පෙරාතුව, බංග්ලාදේශයේ අගමැතිනී ෂික් හසීනා මහත්මිය සමඟ මෙම වෙළෙඳ ගිවිසුම පිළිබඳ ව ඉතා පුළුල් අයුරින් සාකච්ඡා කළා. මා මෙරට සිටින කාලය තුළදී වෙළෙඳාම ප්‍රවර්ධනයට වැඩි අවධානයක් යොමුකරන ලෙස ඇය එහිදී මාහට උපදෙස් දෙනු ලැබුවා." යනුවෙන් පැවසීය.
     
    අමාත්‍ය, බදියුදීන් මහතා මෙහිදී පැවසුවේ, මෙම ද්වීපාර්ශ්වීය සාකච්ඡාවන්හි ප්‍රතිඵලය, සාමාන්‍ය වෙළෙඳ ගිවිසුමක් නො ව, නිදහස් වෙළෙඳ ගිවිසුමක් නම් ඒ සඳහා ශ්‍රී ලංකා රජය වඩාත් කැමැත්තක් දක්වන බවයි. එමෙන් ම ශ්‍රී ලංකාව සමඟ නව වෙළෙඳ සබඳතා වෙනුවෙන් බංග්ලාදේශය දක්වන උනන්දුව හා ඉක්මන් ප්‍රතිචාර පිළිබඳ ව තම සතුට පළකරන බැව්ද අමාත්‍ය බදියුදීන් මහතා පැවසීය.
     
    දකුණු ආසියානු රාජ්‍යයන් සමඟ කුළුපග මිත්‍ර සබඳතා පැවැත්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ද ප්‍රතිපත්තිය බැවින්, පවතින සාකච්ඡාවන් මත කුමන ආකාරයේ වෙළෙඳ ගිවිසුමක් සඳහා වුව ද ශ්‍රී ලංකා රජය සැලකිල්ල යොමුකිරීමට කැමැත්ත දක්වන බවද අමාත්‍යවරයා පැවසීය.
     
    ඇමරිකානු ඩොලර් මිලියන 139ක් වන ශ්‍රී ලංකා - බංග්ලාදේශ ද්වීපාර්ශ්වික වෙළෙඳ අගය තවත් ඉහළ මට්ටමකට ගෙන ඒමට මෙවැනි ගිවිසුම් බෙහෙවිත් ප්‍රතිඵලදායී වනු ඇතැයි ද, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විශ්වාසය පළ කළේය.
     
    2013 වර්ෂයේ ඇමරිකානු ඩොලර් මිලියන 139.23 ක් වූ ද්වීපාර්ශ්වීය වෙළෙඳ අගය, ඊට පෙර වර්ෂයේ දී (2012 දී) පැවතියේ ඇ.ඩො. මිලියන 89ක් ලෙසයි. 2012 වසරට සාපේක්ෂ ව පසුගිය වසරේ දෙරට අතර වෙළෙඳ ගනුදෙනුවල වර්ධනය 67%කි. ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශය වෙත සිදුකරන ප්‍රධාන අපනයන භාණ්ඩය වන්නේ ඇඟලුම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් වේ.
     
    මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති බන්දුල එගොඩගේ, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඩී.එස්. කුමාරරත්න යන මහත්වරු ද සහභාගී වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya