මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි ජනාධිපතිවරණයේදී සිංහල ඡන්ද ආගමික හා දේශපාලන පක්ෂ වශයෙන් කඩා වෙන්කිරීමේ සූක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි

    සැප්තැම්බර් 27, 2014

    ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සිංහල ඡන්ද; සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ලෙස ආගමික වශයෙන් කඩා වෙන් කිරීමටත්, සෙසු සිංහල ඡන්ද පක්ෂ වශයෙනුත් තීරු තීරුවලට කඩා වෙන්කර මේ රට අස්ථාවර, අරාජික රටක් බවට පත්කරන්න රටට එරෙහි විදේශ බලවේග ඔවුන්ට හිතවත් දේශපාලන කල්ලි ලවා ක්‍රියා කරමින් සිටින බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ “ජන සෙවණ සසුණෙන් සෙවණ”  වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 5කට අධික මුදලක් වැයකොට ගොඩගම, හෝමාගම පදිංචි අසරණ පවුලක් වෙනුවෙන් ඉදිකළ නව නිවස එම පවුලට භාරදීම වෙනුවෙන් අද (27) දින පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ඉදිරි ජනාධිපතිවරණයේදී සිංහල ඡන්ද ආගමික හා දේශපාලන පක්ෂ වශයෙන් කඩා වෙන්කිරීමේ  සූක්ෂම වැඩපිළිවෙළක් දැන් සිටම ක්‍රියාත්මක වෙනවා. අද අපේ රට අභියෝග හා අමාරුකම් මැද්දේ  අභියෝග ජයගනිමින් ඉස්සරහට  යනකොට, මහජනතාවගේ පීඩනය අඩු කරන්න ආර්ථික වශයෙන් ඇතැම් පියවර ගන්නකොට, විරුද්ධ පක්ෂයේ ඉන්න විනාශකාරී මතවාද පතුරවන දේශපාලන කල්ලි වලට නැවත මේ රට අස්ථාවර කරන්න ඕනවෙලා තියෙනවා. ඒ අය බලා‍ගෙන ඉන්නවා ඊළඟ ජනාධිපතිවරණ අවස්ථාව එනතුරු. දැන් රටේ ම මතයක් තියෙනවා ජනාධිපතිවරණයක් ළඟදීම එනවා කියලා. ජනාධිපතිවරණය ජනවාරි මස පැවැත්වෙනවා කියලා මාධ්‍ය මගින් ප්‍රචාරය වුණා. ඒ ජනාධිපතිවරණයේදී විශේෂයෙන් ම සිංහල ඡන්ද තීරු තීරු වලට කඩන්න විදේශ බලවේග අද කටයුතු කරමින් සිටිනවා. සිංහල බෞද්ධ ඡන්ද කොටසක් කඩලා එක පැත්තකට ගොඩගහලා, ඒ වගේ ම සිංහල කතෝලික ඡන්ද තව කොටසක් කඩලා ගොඩගහලා, සෙසු සිංහල ජනතාවගේ ඡන්දත් පක්ෂ, පාට අනුව කඩලා අවසානයේ ඉතා අරාජික තත්ත්වයක් රටේ හදන්න ඒ විදේශ බලවේග අද උත්සාහ කරමින් සිටිනවා ඔවුන්ට හිතවත් දේශපාලන කල්ලි පාවිච්චි කරලා.


    මොන අන්තවාදී බලවේගයක් හිස එසෙව්වත් රටකට ජයග්‍රහණ ලැබෙන්නේ නැහැ. තිබුණු අන්තවාදයෙන් අපි මේ රට බේරාගත්තේ තවත් අන්තවාද පැටව් ගස්සන්න නෙවෙයි. තිබුණු අන්තවාදී ත්‍රස්තවාදයෙන් මේ පොළව බේර ගත්තේ තවත් අන්තවාද, අලුත් ත්‍රස්තවාද මේ පොළවේ නිර්මාණය කරන්න නෙවෙයි. මොන අමාරුකම්, අභියෝග තිබුණත් ඒ අභියෝග ජයගැනීමේ සටන අප ඉදිරිපිට තියෙනවා. මේ රට අස්ථාවර කොට, අරාජික කොට මේ ලබාගත්තු ජයග්‍රහණත් නැවත ගිලගන්න දරණ ප්‍රයත්නයක ගොදුරු බවට පත් නොවීමේ වගකීම අපට තියෙනවා. රට තිබුණු අස්ථාවර තත්ත්වයේ සිට යහපත් අතට ඉදිරියට යනවා වගේ ඒ යන ගමනට අවශ්‍ය ශක්තිය තමුන්නාන්සේලා ලබා දෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. ගමනේ තිබෙන අඩුපාඩු හදන්න ඕන. ගමනේ තිබෙන වැරදි නිවැරදි කරන්න ඕන. නිවැරදි විය යුතු අංශ හදන්න ඕන. ඒ නමුත් හතුරු කල්ලිවලට අනුබල දෙන, උඩගෙඩි දෙන දේශපාලන ක්‍රියාදාමයකට ගියොත් මේ රට නැවත අනාත වෙලා ලබාගත්තු ජයග්‍රහණත් අපට නැතිවෙනවා. රණ විරුවෝ දිවි පුදලා දිනා දුන්නු ස්ථාවරභාවය, සාමය නැවත මේ රටට අහිමි වෙනවා. ඒ නිසා තමුන්නාන්සේලා අපි ඉතා උනන්දුවෙන්, වුවමනාවෙන් රටේ ඉදිරි අභියෝග දිහා බලන්න ඕන. මේ අහිංසක දරු පවුල් නඟාසිටුවන ගමනක් මේ රටේ ආරම්භ වුණේ 2005න් පස්සේ. ඒ ගමන තවදුරටත් ශක්තිමත් කොට ඉස්සරහට ගෙන යන වගකීම අපි කාටත් තියෙනවා. ඒ ජාතික හඬ අපේ ගම්වලට ගෙනල්ලා මේ රට නැවත පස්සට නො ව ඉදිරියට ගෙනියන්න කැපවෙයි කියන විශ්වාසය අපිට තියෙනවා.”
     

    ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂය ඉදිරිපත් කරන මත පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා “පසුගිය දිනවලදි අවසන් පළාත් සභා මැතිවරණය වූ ඌව පළාත් සභා මැතිවරණය පවත්වල අවසන් වුණා. ඒ ඌව පළාත් සභා මැතිවරණය තියන්න කලින් විරුද්ධ පක්ෂයේ මහත්වරු ප්‍රකාශ කළේ ඒ පළාත් සභාව දිනනවා කියලා. නමුත් ඡන්දය අවසන් වුණා ම පැරදිලා සිටින එතුමන්ලා කියනවා දිනලයි කියලා. පරාජය වුණු අය දිනලා වගේ කතා කරනවා. ඒගොල්ලෝ පෙන්වන්න හදනවා දිනපු අය පරාජය වුණා කියලා. උන්නැහෙලා මාධ්‍ය හරහා විශාල මාධ්‍ය මෙහෙයුමක් දියත් කරනවා මහජනතාව තුළ ආකල්පයක් හදන්න බල පෙරළියකට කොළ එළියක් වැටුණයි කියලා. බල පෙරළියකට මොන එළියක් වත් වැටුණේ නැහැ. ඌව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය දිහා බැලුවහම පෙනෙනවා බල පෙරළියකට කොළ එළි පත්තු කරන්න හදපු උත්සහය පරාජයට පත්වුණා කියලා. දැන් 29 වන පරාජය ලැබුවා සාර්ථක 30 වන පරාජය අත්පත් කර ගැනීම ස‍ඳහා විරුද්ධ පක්ෂයේ මහත්වරුන් උත්සාහ කරනවා කියලා තමුන්නාන්සේලාට පෙනෙනවා.
     

    අපි ක්‍රියාත්මක කරන ජනසෙවණ නිවාසකරණ වැඩපිළිවෙළ යටතේ එක් නිවාසකරණ වැඩසටහනක් තමයි ඉඩමක් තියෙන එහෙත් තමන්ට ම කියා නිවසක්  ඉදිකරගැනීමට කිසිදු ශක්තියක් නැති අඩු ආදායම් ලාභී ප්‍රජාව වෙනුවෙන් නිවාස ආධාර මුදලක් ලබාදී ගමේ පන්සලේ නිර්දේශය මත එම තීරණය අරගෙන, ගමේ පන්සලේ දායක සභාවේ, දානපතින්ගේ හා අනෙකුත් පාර්ශවවල උදව් ඇති ව අඩු ආදායම් ලාභී පවුල්වලට සුදුසු නිවසක් ඉදිකර දීම. ගමේ පන්සල සමග මේ නිවාසකරණ වැඩසටහන දියත් වෙන්නේ. විවිධ පාර්ශව ගණනාවක් එකට එකතු කිරීම අපේ නිවාසකරණයේ එක පැතිකඩක්. ගමේ පන්සල, නිවාස සංවර්ධන අධිකාරිය, ගමේ ප්‍රජාව සමහරවිට දානපතීන් යන මේ පාර්ශව එකතු කිරීම අපේ නිවාස වැඩසටහන මගින් සිදු කරනවා. අපි නිවාස ආධාර ලබා දුන් පමණින් මේ නිවස මේ තරම් හොඳට ඉදිකරන්න බැරිවෙන්න පුළුවන්. නමුත් ඒ ආධාරය නොදුන්නා නම් මේ වැඩේ ආරම්භ වන්නේ නැහැ. දානශීලී හැඟීමක් උපත ලබන්නේ නැහැ. නිවස ඉදිකිරීම ආරම්භ කිරීමේ හැඟීම උපත ලබන්නේ නැහැ.  නිවාසකරණයේ මුළු බර ම රජයේ කර මත තබන්නේ නැති ව දන් දෙන්න කැමති සියලු පාර්ශව එකට එකතු කරගෙන නිවාසකරණය සිදු කරන යුගයක් අද අපි මේ ගමින් ගමට දියත් කරගෙන යන්නේ. මේ වැඩසටහන් ඉදිරියට ගෙනයමින් අසරණ පවුල් නඟාසිටුවන්න අද අපි විශාල උත්සාහයක් දරමින් සිටිනවා.” යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.


    මෙහිදී අදහස් දැක් වූ එම නිවසේ පදිංචි එච්.ඒ. කමලාවතී මහත්මිය; “මගේ සැමියා මීට වසර 30කට පමණ පෙර රෝගාබාධයකින් මියගියා. එදා සිට මගේ පුතා සහ මම මේ තහඩු සෙවිළි කළ අබලන් වුණු නිවසේ අපහසුවෙන් ජීවත් වුණා. මම අසනීප වෙලා සෑහෙන කාලයක් සිටියා. මගේ පුතා කුලී වැඩ කරලා ලැබෙන මුදලින් තමයි අපි දෙදෙනා ජීවත්වෙන්නේ. මට මේ වගේ අලුත් නිවසක් හදලා දීලා මේ කරපු උපකාරයට විමල් වීරවංශ ඇමතිතුමා ඇතුළු මෙයට සම්බන්ධ වූ මහත්ම මහත්මීන්ට මගේ ස්තූතිය පුද කරනවා” යනුවෙන් පැවසීය.


    “මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක “ජනසෙවණ” නිවාස දස ලක්ෂයේ නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමඟාමීව විහාරස්ථාන මූලික කරගනිමින් අඩු ආදායම්ලාභී පවුල් නඟාසිටුවීමේ අරමුණෙන් සසුණෙන් සෙවණ නිවාස වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. අංග සම්පූර්ණ ව මෙම නිවස ඉදිකිරීම සඳහා සසුණෙන් සෙවණ නිවාස ආධාර මුදලට අමතර ව ප්‍රදේශවාසීන්ගේ මූල්‍ය දායකත්වය හා ශ්‍රම දායකත්වය ද ලබාදී ඇත.


    මෙම අවස්ථාවට හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති රුවන් ප්‍රබෝධ පීරිස්, හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ප්‍රියංගා කොතලාවල, කැළුම් ප්‍රියංකර, ජාතික නිදහස් පෙරමුණේ හෝමාගම සංවිධායක ප්‍රියන්ත බණ්ඩාර , කැප්පෙටිපොළ තරුණ ව්‍යාපාරයේ හෝමාගම සංවිධායක නිරෝෂන් සුසන්ත යන මහත්ම මහත්මීහු, ප්‍රදේශවාසීහූ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

     

    HC

    Jana sevana sasunen sevana homagama 1

     

    Jana sevana sasunen sevana homagama 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya