අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිකිරීම් සංවර්ධන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට Featured

    සැප්තැම්බර් 22, 2014

    ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා සකස් කෙරුණු ඉදිකිරීම් සංවර්ධන පනත් කෙටුම්පත හෙට (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

     

    "ඉදිකිරීම් සංවර්ධන පනත" සකස් කිරීම සඳහා මේ කර්මාන්තයේ නියුක්ත සියලු වෘත්තිකයන්, කර්මාන්තකරුවන්, විද්වතුන්, වෘත්තීය සංවිධාන සාමාජිකයන්, ශිල්පීන් මෙන් ම කර්මාන්තයෙන් ප්‍රතිලාභ ලබන ජනතාව සමඟින් ද සාකච්ඡා, සංවාද හා අදහස් හුවමාරු කර ගැනීම සිදු කර ඇත. 1996 වසරේ සිට වසර 18ක කාලපරිච්ඡේදය තුළ පාලන බලයේ සිටි විවිධ රජයන් හා විෂයානුබද්ධිත අමාත්‍යවරුන් විවිධ අවස්ථාවන්හි දී ඉදිකිරීම් කර්මාන්තය ආශ්‍රිත ව මෙවන් වූ පනතක් ඉදිරිකිරීම සඳහා උත්සාහ දැරුව ද එය සිදු කළ නොහැකි වූ බව ද අමාත්‍යවරයා කීය.

     

    දශක තුනක යුද්ධය නිමාවීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් ලබා තිබේ. එහි අනාගත අභියෝග ජයගැනීම සඳහා ඉදිකිරීම් කර්මාන්තය සඳහා විධිමත් ප්‍රතිපත්තියක් හා එය ක්‍රියාවට නැංවීම සඳහා සංස්ථාපිත ආයතනයක් ස්ථාපිත කිරීම අවශය වේ. එම ජාතික අවශ්‍යතාව සපුරාලමින් පළමු වතාවට මේ පනත ඉදිරිපත් කරනු ඇත. ඉදිකිරීම් කර්මාන්තයේ දේශීය දළ ජාතික නිෂ්පාදනයට 2013 වසරේ දායකත්වය 8.6%කි. එය 2014 පළමු කාර්තුවේදී 9.7% දක්වා වර්ධනය වී ඇත. 2009 වසරට ප්‍රථම ඉදිකිරීම් කර්මාන්තයේ වාර්ෂික වර්ධන වේගය 5%කට අඩු ප්‍රමාණයකට සීමා විය. එය 2013දී 21.6ක් වූ බවත් 2014 වසරේ ප්‍රථම කාර්තුවේදී 22.5% දක්වා වාර්තාගත වර්ධනයක් සිදු වී ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    යෝජිත ඉදිකිරීම් සංවර්ධන පනත විෂය කාර්යය හා සම්බන්ධ සියලු ක්ෂේත්‍ර හා පාර්ශවයන් ආවරණය වන ආකාරයෙන් නිර්මාණය වී ඇත. එහි මූලික උපාංග කිහිපයක් වන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා විධිවිධාන සැලසීම, ඉදිකිරීම් කටයුතු නියාමනය, ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීම, විධිමත් කිරීම හා ප්‍රමිතිකරණයයි. ඊට අමතර ව ජාතික උපදේශක සභාවක් පිහිටුවීම, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියක් පිහිටුවීම, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අරමුදලක් පිහිටුවීම, ඉදිකිරීම් සංවර්ධන කර්මාන්ත අධිකාරිය වෙනුවෙන් වෙන ම අරමුදලක් ස්ථාපිත කිරීම, කර්මාන්තයට අදාළ වෘත්තිකයන්, නිෂ්පාදකයන්, සැලසුම්කරුවන්, කොන්ත්‍රාත්කරුවන් හා ශිල්පීන්ගේ දියුණුව හා සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීම සහ ඉදිකිරීම් කටයුතුවලට අදාළ ආරවුල් නිරවුල් කිරීම සහ ඒ සම්බන්ධ අනුශාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම තවත් කරුණු කිහිපයකි.

     

    මේ ජාතික ප්‍රතිපත්තිය නිර්මාණය කරනු ලබන්නේ යෝජිත පනත තුළින් ස්ථාපනය කරනු ලබන "ඉදිකිරීම් ජාතික උපදේශක සභාව" විසිනි. එම සභාවට ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා දායක වන විවිධ අමාත්‍යාංශ, වෘත්තීයමය ආයතන හා සංවිධානවල සාමාජිකයන් අයත් වේ. මේ උපදේශක සභාවේ පරමාර්ථය වන්නේ ඉදිකිරීම් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය සැකසීමට හා එය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමයි. ඉදිකිරීම් කර්මාන්තයේ සංවර්ධනය හා තිරසාර පැවැත්ම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ යෝජනා කිරීම ද මේ මඟින් සිදු වන බව අමාත්‍යවරයා පහදා දුන්නේය.

     

    ඉදිකිරීම් ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා යෝජිත පනත මඟින් " ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියක්" පිහිටුවීමට ද යෝජිතයි. ඒ මඟින් ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය (ඉක්ටෑඩ්) තම භූමිකාව වෙනස් කරගනිමින් ඉතා පැහැදිලි හා ශක්තිමත් නීති රාමුවක් තුළ නැවත ස්ථාපනය කිරීම ද සිදු කරනු ඇත. යෝජිත ඉදිකිරීම් සංවර්ධන පනත තුළින් කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා "ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අරමුදලක්" ස්ථාපිත කෙරේ. මේ සංවර්ධන අරමුදලට අවශය ප්‍රතිපාදන දේශීය හා විදේශීය ණය මුදල් වෙතින්, පරිත්‍යාග සහ ප්‍රදාන වෙතින් හෝ බදු මුදල් වෙතින් ලැබෙනු ඇත. එසේ එක්රැස් කරන මුදලින් 50%කට වැඩි ප්‍රමාණයක් වැය කරන්නේ කුඩා පරිමාණයේ කොන්ත්‍රාත්කරුවන්ගේ සහා ක්ෂේත්‍රයේ නියුතු ශිල්පීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙනි. ඉදිකිරීම් කර්මාන්තය සම්බන්ධ පර්යේෂණ, ප්‍රකාශන, පළකිරීම සඳහා 5%ක් වෙන් කරනු ඇත. එසේම පරිසර හිතකාමී හා පිරිවැය අඩු ඉදිකිරීම් තාක්ෂණය, නව නිපදවීම් භාවිතය, ප්‍රවර්ධනය ඵලදායී කිරීම හා දිරිගැන්වීම් වෙනුවෙන් මේ අරමුදලෙන් තවත් 5%ක් වෙන් කරන බව ද ඔහු පැවසීය.


    රක්ෂණ වැඩසටහනක් ද ඉදිකිරීම් ශිල්පීන් වෙනුවෙන් ඇති කිරීමට මෙයින් යෝජනා කර ඇත. මේ පනත මඟින් මෙතෙක් කර්මාන්ත ක්ෂේත්‍රයට තිබූ බාධාවන් සියල්ල මගහැරී යනු ඇත. මේ පනත මඟින් යෝජනා කර ඇති ජාතික ඉදිකිරීම් ප්‍රතිපත්තිය ඉදිරියේදී කෙටි කාලයක් තුළ සකස් කිරීමට ද නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya