අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌවේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ අගමැතිතුමාගේ පණිවුඩය

    සැප්තැම්බර් 22, 2014
    එක්සත් ජනතා නිදහස් සන්ධානය ඌව පළාත් සභා මැතිවරණයෙන් ලැබූ ප්‍රතිඵලය, පක්ෂය ලැබූ ජයග්‍රහණයක් පමණක් නො ව, දේශ හිතෛෂී සමස්ත ශ්‍රී ලාංකිකයන් ලැබූ ජයග්‍රහණයක් වශයෙන් හැඳින්විය හැකිය.

    තිස් වසරක් තිස්සේ මෙරටට වින කළ කිසිදා නිමා කළ නොහැකි යැයි සිතූ කුරිරු ත්‍රස්තවාදය සදහට ම මුලිනුපුටා දැමූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කෙරෙහි ජනතා විශ්වාසය යළි තහවුරු කිරීමක් වශයෙන් ද මෙවර පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය හැඳින්විය හැකි වේ. එමෙන්ම මෙවර පළාත් සභා මැතිවරණයේ ජනතා තීන්දුව, රජය කෙරෙහි ජනතා විශ්වාසය යළි තහවුරු කිරීමකි.

    බලයට පත් ව සිටින රජයක් මැතිවරණ ගණනාවකට මුහුණ දෙමින් සිටියදී එක් මැතිවරණයකදී  සාපේක්ෂ වශයෙන් අඩු ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම සාමාන්‍ය සිදුවීමකි. එසේ වුවත් සමස්තයක් වශයෙන් අප රජය සියයට පනහ ඉක්මවමින් ප්‍රශස්ත ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබේ. එම ජයග්‍රහණය සඳහා සිය දායකත්වය ලබා දුන් ඡන්ද දායකයන් වෙත අප රජය වෙනුවෙන් මාගේ කෘතවේදීත්වය පළ කරමි.

    යුද්ධය නිමාවට පත් කිරීමත් සමඟ  යෝධ සංවර්ධන ව්‍යාපෘති රැසක් හඳුන්වා දුන් අප රජය මේ වන විට ශ්‍රී ලංකාව ආසියාවේ දියුණු රටක් බවට පත් කිරීමට කටයුතු යොදමින් සිටියි.

    එම  කාර්යය භාරය වෙනුවෙන් මේ වන විටත් දියුණු රටවල් රැසකගේ දායකත්වයෙන් නවීන තාක්ෂණය හා උපදෙස්, මානව සම්පත, ප්‍රාග්ධන ආදී සම්පාදන කොට ගනිමින් මෙරටට නව ව්‍යාපෘති අවස්ථාවන් රැසක් දායාද කර දී තිබේ. ජාතික ම්ට්ටමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතීන්ට අමතර ව පළාත් සභා මට්ටමේ සංවර්ධන යෝජනා ක්‍රම රැසක් ද මේ වන විට හඳුන්වා දී ඒ සඳහා විශාල මුදලක් වෙන් කර ඇති අතර, ඒ කාර්ය භාරයෙහිලා පළාත් සභාව වෙත  විශාල වැඩ කොටසක් පැවරී තිබේ.

    රටක සංවර්ධනය සඳහා සෑම අංශයකින් ම සක්‍රීය දායකත්වය ලැබිය යුතු අතර, ඒ සඳහා රජය ශක්තිමත් කිරීමේ එක් අංශයක් වශයෙන් පළාත් සභාව හැඳින්විය හැකියි. මෙවර පළාත් සභා මැතිවරණ ජයග්‍රහණයත් සමඟ ඌව සංවර්ධනය වඩාත් ජව සම්පන්න කිරීම අපගේ අපේක්ෂාවයි. ඌව මෙන් ම, සමස්ත ශ්‍රී ලංකාව කෙටි කාලයක් තුළදී සංවර්ධනය කිරීම සඳහා අප සියල්ලන් ම මේ වන විටත් පෙරමුණ ගෙන ඇත.
     
     
    ඒ වෙනුවෙන් පක්ෂ, ජාති, ආගම් ආදී භේදයෙන් තොරව එක් වන ලෙස මම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි.

    ආචාර්ය දි.මු. ජයරත්න
    අග්‍රාමාත්‍ය
     
     ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya