මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනන්ද බාලිකාවේ ත්‍යාග ප්‍රදානෝත්සවය ආරක්ෂක ලේකම් ප්‍රධානත්වයෙන් Featured

    සැප්තැම්බර් 15, 2014

    කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ 2011, 2012 හා 2013 යන වර්ෂවලදී අධ්‍යාපන, ක්‍රීඩා, සෞන්දර්ය හා වෙනත් අංශයන් සඳහා ඉහළ දක්ෂතාවක් දක්වන ලද ශිෂ්‍යාවන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


    1971 වර්ෂයේදී ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමාගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස ශිෂ්‍යාවන් 987 දෙනෙකුගෙන් හා ගුරුවරුන් 37 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙම විද්‍යාලයේ මේ වන විට ශිෂ්‍යාවන් 3000ක් පමණ අධ්‍යාපනය ලබමින් සිටිති.

     

    ආරක්ෂක ලේකම්වරයා විදුහලට සපැමිණීමත් සමඟ ම විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනිය වන මල්කාන්ති වික්‍රමාරච්චි මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයන් විසින් පිළිගන්නා ලදී.

     

    මෙහිදී අදහස් දැක් වූ ආරක්ෂක ලේකම්තුමා ප්‍රථමයෙන් ම, විදුහල ආරම්භ කිරීමෙන් අනතුරු ව ගත වූ අවුරුදු 43 ඇතුළතදී විද්‍යාලය විසින් දක්වා ඇති ප්‍රගතිය පිළිබඳවත් ඒ තුළින් බිහි වූ ශිෂ්‍යාවන් විසින් මව්බිමේ සංවර්ධනය සඳහා ලබා දුන් අනුපමේය සහයෝගය පිළිබඳවත් සිය කෘතඥතාව පුද කර සිටියේය.

     

    විද්‍යාලය ඉතා උසස් මට්ටමක පවත්වා ගැනීම සම්බන්ධයෙන් විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් ඉටුකරන ලද සේවය හා දක්වන ලද කැපකිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔවුනට සිය ස්තූතිය පුද කරන ලදී.

     

    විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ හැකියාව ඇත්තේ සීමාසහිත ප්‍රමාණයකට පමණක් බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා එසේ ඇතුළත්වීමට නොහැකි අයවලුන් තමන් සතු කුසලතාවන් හොඳින් හඳුනාගෙන ඒ ඔස්සේ පෞද්ගලිකව තමන්ගේ හා රටේ සංවර්ධනයට දායකවීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. ඒ සඳහා අවශ්‍ය වෘත්තීය දැනුම හා පුහුණුව ලබා ගැනීම සඳහා අද වන විට බොහෝ මාර්ගයන් රට තුළ විවෘත වී තිබෙන බව ද මෙහිදී පැවසීය. ඕනෑ ම සමාජයක් වඩා හොඳ හා නිවැරදි මාර්ගයක ගමන් කිරීමට විනය හා ශික්ෂණය ඉතා වැදගත් සාධකයන් බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා මේවා පිළිබඳව අප විසින් මුලින් ම අධ්‍යාපනය ලබා ගනුයේ පාසල තුළින් බව ද මෙහි දී අවධාරණය කරන ලදී.

    අප රට මේ වන විට ශීඝ්‍රයෙන් සංවර්නය කරා ගමන් කරමින් පවතී. ඒ නිසා ම තරුණ පරම්පරාව සඳහා බොහෝ මාර්ගයන් විවෘත වී තිබෙන බවත් තම පෞරුෂත්වය හා කුසලතාවන් වැඩිදියුණු කර ගැනීම තුළින් ඔවුන්ටද ඉතා පහසුවෙන් ම ඊට සම්බන්ධ විය හැකි බවත් මෙහිදි වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

    ආරක්ෂක ලේකම්තුමා අතින් පසුගිය වර්ෂවලදී අධ්‍යාපන හා විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා ඉතා උසස් කුසලතාවන් හා දක්ෂතාවන් දක්වන ලද ශිෂ්‍යාවන් වෙත ත්‍යාග හා සහතික ප්‍රදානය කරන ලද අතර ඉතා කැපවීමෙන් යුතු ව මෙම ශිෂ්‍යාවන් ජයග්‍රහණය කරා මෙහෙයවන ආචාර්ය මණ්ඩලයටද ත්‍යාග පිරිනමන ලදී.

     

    එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ආනන්ද බාලිකා විද්‍යාලයේ නව වෙබ් අඩවිය ද විවෘත කරන ලද අතර මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් විශේෂ සමරු තිළිණයක් ආරක්ෂක ලේකම්වරයා වෙත පිළිගන්වන ලදී.

     

    මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් සභා අමාත්‍යවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, ආදි ශිෂ්‍යයින්, දෙමාපියවරු ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya