මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "තාක්ෂණවේදය" විෂය හරහා ද්විතීයක හා තෘතීයක අධ්‍යාපනය සම්බන්ධ වුණා Featured

    ජූලි 16, 2014
    උසස් පෙළට "තාක්ෂණවේදය" විෂය ධාරාව හඳුන්වාදීම තුළින් ද්විතීයක හා තෘතියක අධ්‍යාපනය එකිනෙක සම්බන්ධ වූ බව, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා ප‍්‍රකාශ කළේය. 
     
    ජර්මානු සහයෝගීතා ආයතනයේ සහය ඇතිව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය මඟින් සංවිධානය කරන ලද වෘත්තීය හා කාර්මික අධ්‍යාපන සමුළුවේ (GTI) සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය. මෙම සමුළුව කොළඹ ගලදාරී හෝටලයේ දී ඊයේ (15) ආරම්භ වූ අතර අද (16) පස්වරුවේ සමුළුව අවසන් වීමට නියමිතය. 
     
    "මහින්ද චින්තනය" යටතේ ජනාධිපතිතුමා තරුණ පරපුරේ දක්ෂතා වර්ධනය කිරීමට ප‍්‍රමුඛත්වය ලබාදී තිබෙන බවත් අපිට අද අවශ්‍ය වන්නේ ජාතික හා අන්තර්ජාතික ශ‍්‍රම වෙළෙඳළෛහි අවශ්‍යතා සපුරාගැනීම බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    පළමු වතාවට "ජාතික නිපුණතා දිනය" උත්සවාකාරයෙන් සමරනවා. එය ජාතික තරුණ ප‍්‍රතිපත්තිය හා ගැළපීමයි, ඉතා වැදගත් වන්නේ. මීට මාස දෙකකට කලින් අපි ලෝක තරුණ සමුළුව පැවැත්වූවා. මීට පෙර ආසියාවේ කිසිදු රටකට එම වරප‍්‍රසාදය ලැබිලා නැහැ. රටවල් 168ක් නියෝජනය කරමින් පැමිණි තරුණ නියෝජිතයින් එදා "කොළඹ ප‍්‍රකාශනය" එළිදැක්වූවා. 
     
    "ලෝකයේ විරැකියාව උග‍්‍ර ප‍්‍රශ්නයක් බව සමුළු නියෝජිතයන් එකමතිකව එහි සඳහන් කර තිබෙනවා. ඉදිරි දශකය තුළ අපේ රට ඇතුළු ලෝකය මේ ප‍්‍රශ්නයට සාර්ථකව මුහුණදිය යුතුයි. ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ තාරුණ්‍යයේ විරැකියාව දුරුකිරීම සඳහායි. තාක්ෂණවේදය විෂය ධාරාව, උසස් පෙළට හඳුන්වා දුන්නේ. මෙය ද්විතීයක හා තෘතීයක අධ්‍යාපනය එකිනෙක සම්බන්ධ කිරිමක් ලෙසයි, අපි විශ්වාස කරන්නේ. මෙහි අවසන් අරමුණ අපේ අමාත්‍යංශය යටතේ තිබෙන තාක්ෂණ විශ්වවිද්‍යාලය හරහා දැයේ දරුවන්ට ජයගත හැකියි.  මෙම විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා හදාරන්න කිසිදු වයස් භේදයක් නැහැ. 
     
    පාඨමාලා අවසානයේදී පිරිනමන උපාධි සහතිකය ලෝකයේ  ඕනෑම රටක උපාධියත් සමඟ සමකළ හැකියි. ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව (NVQ) තුළ තාක්ෂණවේදය විෂය ධාරාව හරහා නිපුණතාවයෙන් යුතු තරුණ ශ‍්‍රම බලකායක් නිර්මාණය කළ හැකියි". 
     
    වර්තමාන තරුණ පරපුර අනාගත නායකයන් කරවීමට අවශ්‍ය වෘත්තීය සහ කාර්මික අධ්‍යාපනය ලබාදීම යෞවන අමාත්‍යංශයේ වගකීම බවත් කී අමාත්‍යවරයා එම අරමුණ ඉටුකරගැනීම සඳහා වෘත්තීය හා කාර්මික අධ්‍යාපනයට රජය වැඩි වශයෙන් මුදල් ආයෝජනය කරන බවත් පැවසීය.
      
    "අපේ අමාත්‍යංශය යටතේ උතුරු සහ නැගෙනහිර දෙපළාත තුළත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආරම්භකර තිබෙනවා. මේ වන විට වාණිජ ක්ෂේත‍්‍රයන් 150කට පමණ අවශ්‍ය නිපුණ ශ‍්‍රමිකයන් අපි නිර්මාණය කරමින් සිටිනවා. පුහුණුවෙන් පසු ජීවිතය ජයගන්න විශේෂ ණය පහසුකම් පවා සපයා දී තිබෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස වයස්ගත කාන්තාවන් පවා පුහුණුවට එක්වීම අපේ උත්සාහයේ සාර්ථක ප‍්‍රතිඵලයක්. 2014 - 2020 දක්වා නිපුණතා ක්ෂේත‍්‍රය තුළ සීග්‍ර සංවර්ධනයක් බලාපොරොත්තු විය හැකියි". 
     
    "මිනිසෙකුට එක් මාළුවෙක් දෙන්න. එය ඔහුට එක දවසකට ප‍්‍රමාණවත්. නමුත් මසුන් ඇල්ලීමේ ක‍්‍රමය ඔහුට උගන්වන්න එය ඔහුගේ මුළු ජීවිතයටම ප‍්‍රමාණවත්.  නිපුණතා සංවර්ධනය තුළින් අපි බලාපොරොත්තු වන්නේත් චීන ආප්තෝපදේශයට අනුව දරුවන්ට මසුන් ඇල්ලීමේ ක‍්‍රමය උගන්වන්න".  
     
    සමුළුව සාර්ථක කරගැනීමට ජර්මන් සහයෝගීතා ආයතනය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, කොරියානු සහයෝගීතා ඒජන්සිය, ඉන්දියානු සහ  ඔස්ටේ‍්‍රලියානු රජයන් දැක්වූ සහය බෙහෙවින් අගය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya