මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    nrg4SD සමුළුව ලබන 07 සිට 09 දක්වා ශ්‍රී ලංකාවේදී

    අගෝස්තු 28, 2015

    තිරසාර සංවර්ධනය උදෙසා වන ප්‍රාන්ත රාජ්‍යයන්ගේ එකමුතු ජාලයෙ හි 13 වන වාර්ෂික මහා සමුළුව හා දේශගුණ විපර්යාසයන් අවම කිරීමට අදාළ ජාත්‍යන්තර මහා සමුළුව (Network of Regional Government for Sustainable Development - nrg4SD) ලබන 07 සිට 09 දින දක්වා කොළඹ, හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.


    එහි සමාරම්භක උත්සවය සැප්තැම්බර් 07 වන දින පැවැත්වෙන අතර සැප්තැම්බර් 08 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අප්‍රිකානු, ඇමරිකානු, යුරෝපීය, ආසියා හා ආසියා පැසිෆික් කලාපීය දේශපාලනික හා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ජාත්‍යන්තර මහා සමුළුවේ සැසි පැවැත්වෙනු ඇත.

    මේ සඳහා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය බස්නාහිර පළාත් සභාව වෙත හිමි වී තිබෙන බව බස්නාහිර පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග, කර්මාන්ත, පරිසර, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    ලොව පුරා පවතින ප්‍රාන්ත රාජ්‍යයන් තිරසාර ලෙස සංවර්ධනය කිරීමේ මූලික පරමාර්ථයෙන් යුතු ව ඒ පිළිබඳ ව දැනුම, හැකියාවන්, නව ප්‍රවණතා සහ අත්දැකීම් ප්‍රාන්ත රාජ්‍යයන් අතර හුවමාරු කර ගැනීමේ අරමුණින් තිරසාර සංවර්ධනය උදෙසා වන ප්‍රාන්ත රාජ්‍යයන්ගේ එකමුතු ජාලය 2002 වසරේදී පිහිටුවා ගැනිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගත් එකම ප්‍රා දේශීය ආණ්ඩු ජාලය ද මේ සංවිධානයයි. ශ්‍රී ලංකාවේ පළාත් සභා ඉතිහාසය තුළ ජාත්‍යන්තර සංවිධානයක සාමාජිකත්වය ලබා ගත් ප්‍රථම පළාත් සභාව බවට පත්වෙමින් 2011 වසරේදී බස්නාහිර පළාත් සභාව මෙහි සාමාජිකත්වය ලබා ගෙන ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ අනුව 2014 වසරේ අගෝස්තු කොලොම්බියාවේ කාර්ටහේනා නගරයේ පැවති 12 වෙනි වාර්ෂික සමුළුවේදී මේ සංවර්ධන ජාලයේ සමසභාපතිත්වය බස්නාහිර පළාත් සභාවට හිමි වී ඇත. එහිදී ගන්නා ලද තීරණයක් අනුව 2015 වසරේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතය. මේ තුළින් ශ්‍රී ලංකාවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇත. තිරසාර සංවර්ධනය පිළිබඳ නව ප්‍රවණතා, දැනුම, අත්දැකීම් හා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සාමාජික රටවල් අතර සම්පත් හුවමාරුව, විශේෂඥ දැනුම හුවමාරු වැඩසටහන් පැවැත්වීම, ප්‍රාන්ත රාජ්‍යයන් අතර තිරසාර සංවර්ධනය අරමුණු කර ගත් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා දායකත්වය ලබා දීම වැනි ප්‍රතිලාභ අත්කර ගැනීමට අපේක්ෂා කෙරේ. ජල සම්පත් කළමනාකරණය, සනීපාරක්ෂක ක්‍රමවේද, ජෛව විවිධත්වය යනාදී වැඩසටහන් සඳහා ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥ දායකත්වය තුළින් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා දායකවීම මෙහි තවත් අරමුණක් බව ඔහු සඳහන් කළේය.

    බස්නාහිර පළාත් ඉතා ඉහළ පාරිසරික වටිනාකමින් යුක්ත වන්නා සේම ජන ඝනත්වය ඉහළ යාම හා නාගරීකරණය හේතුවෙන් සුවිසල් පාරිසරික ගැටලු රැසකට නිරතුරුව ම මුහුණ දෙන පළාතක් නිසා මේ ගැටලු සඳහා පිළිබම් යෙදීමේ දී මේ ප්‍රාන්ත රාජ්‍යයන්ගේ දායක්තවය ලබා ගැනීම ඉතා වැදගත් වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya