මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''එකට එකතු වෙන දරුවන්ට'' - 2020 වර්ෂයේ රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම අදයි

    ජනවාරි 16, 2020

    ''එකට එකතු වෙන දරුවන්ට'' - 2020 වර්ෂයේ රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ නිල උත්සවය අදයි

    (2020 වර්ෂයේ රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ නිල කටයුත්ත සනිටුහන් කරමින් 2020-01-16 දින මාතලේ නුගගොල්ල ධර්ම ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ පැවැත්වෙන උත්සවයට සමගාමීව සකස් කරන ලදී. )

    2020 වසරේ ජනවාරි 20 වැනි දින ඔබේ දරුවා පාසලට පැමිණෙන පළමු දවසයි. වසර පහක් පුරා ඔබේ දරුවා වැඩුණේ, රැකුණේ ඔබේ පවුලේ සාමාජිකයන්ගේ ආදරය, රැකවරණය සහ පෝෂණය ඇසුරුකරගනිමිනි. ඒ හා සමග දරුවාගේ මූලික චින්තන රටාව සංවර්ධනය කරන්නට ද මූලික දායකත්වය ලැබුණේ ඔබේ ගෙදර පරිසරයෙනි.

    මෙතැන් සිට ඔබේ දරුවාගේ ජීවිතයට අලුත් ආදරණීයයන් පිරිසක් එක්වෙයි. ඔවුන් සමග දෙවැනි සංවර්ධන අවධිය පාසල තුළින් අරඹන ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන්නට රටේ අධ්‍යාපන පද්ධතිය නිවැරදි දිශානතියක ගමන් කරවීම යුගයේ අවශ්‍යතාවයයි. ඒ සඳහා අවැසි සවිය, සහයෝගය මෙන් ම නිවැරදි තීන්දු තීරණ රටේ අධ්‍යාපන පද්ධතිය හරහා සවිබල ගැන්වීමට හැකි නිසි මගපෙන්වීම ලබාදීමේ වගකීම අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා සතුව පවතියි.

    පූර්ණ පෞරුෂයක් සහිත පුද්ගලයෙකු බිහි කිරීම සඳහා වඩාත් තීරණාත්මක අවධිය ලෙස සැලකෙන්නේ ප්‍රාථමික අධ්‍යාපන අවධියයි. ප්‍රාථමික අධ්‍යාපනය ලබාදීමේ මූලික අරමුණු වන්නේ හයවැනි ශ්‍රේණියේ සිට ද්විතීයික අධ්‍යාපනය සාර්ථක ව හැදෑරීමට අත්‍යාවශ්‍ය වූ ඉගෙනුම් නිපුනතාවලට සිසුන් ළඟා කරවීමත් සිසුන්ගේ පූර්ණ පෞරුෂ සංවර්ධනය සඳහා ශක්තිමත් අඩිතාලමක් සකස් කිරීමත් ය.

    දිවයිනේ ක්‍රියාත්මක වන පාසල් 10,175න් පාසල් 9,158ක ප්‍රාථමික අධ්‍යාපන අංශ ක්‍රියාත්මක වන අතර, සෑම වසරක ම සිසුන් 340,000කට ආසන්න දරුවන් සංඛ්‍යාවක් පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වෙයි. ඔවුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට දායකත්වය ලබාදීමට ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නිරතව සිටින ගුරුවරුන් සංඛ්‍යාව 67,357කි.

     

     

    2020 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත්වන ඔබේ දරුවන් පාසල් අධ්‍යාපනය අවසන් කර සමාජයට පිවිසෙන්නේ 2032 වසරේ දීය. අද අප ජීවත්වන ලෝකයට වඩා අපේ දරුවන්ට හෙට දවසේ විවර වන ලෝකය, ඒ තුළ ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන අභියෝග අතිශයින් ම වෙනස් මුහුණුවරක පවතිනු ඇත. ශීඝ්‍ර ලෙස සංවර්ධනය වන විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ නවතම සොයාගැනීම්, අත්හදාබැලීම් හමුවේ අනාගත වැඩලෝකයේ අවශ්‍යතා අදට වඩා වෙනස් වනු නිසැක ය. දැනුම, කුසලතා, හැකියාවන් මෙන්ම රැකියාවන් ද අද අප අර්ථ ගන්වා ඇති ස්වභාවයට වඩා බොහෝ සේ වෙනස් වනු නොඅනුමාන ය. මේ නිසා අද පාසල් අධ්‍යාපනයට ප්‍රවේශ කරන දරුවා වෙනුවෙන් අප ක්‍රියාත්මක විය යුත්තේ ඒ සියලු සමාජ විපර්යාසයන්ට, අභියෝගයන්ට අපහසුවකින් තොරව මුහුණ දිය හැකි ශක්තිමත් අනාගතයක් සැලසුම් කිරීම වෙනුවෙනි.

    එම අනාගත ඉලක්ක වෙත දරුවන් ගෙන යා හැකි ගුණාත්මක අධ්‍යාපන අවස්ථා පාසල් පද්ධතිය තුළින් ලබාදීම අත්‍යවශ්‍ය වෙයි. ඉදිරි දශක කිහිපයක අනාගතය දෙස විමසිලිමත් වෙමින්, ලෝක අධ්‍යාපන ප්‍රවණතා කෙරෙහි නිරන්තර අවධානය යොමු කරමින්, ලෝකයේ දියුණු රටවල අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ හොඳින් අධ්‍යයනය කරමින් මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ හඳුනාගත් අත්‍යවශ්‍ය වෙනස්කම් නොපසුබට ව ක්‍රියාවට නංවන්නට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ පූර්ණ අවධානය යොමු වීම මෙරට දරු පරපුර ලැබූ ඉමහත් ජයග්‍රහණයකි. එතුමන්ගේ දූරදර්ශී නායකත්වය මතින් හෙට දවසේ ඔබේ දරුවන්ට සක්‍රීය, ඵලදායී මෙන් ම ගුණාත්මකබවින් සපිරි පාසල් අධ්‍යාපනයක් ලබාදෙමින් ‍ගෝලීය මානව සම්පත තුළ ඉහළට ම ඔසවා තබන්නට නිවැරදි පන්නරක් ලැබෙනු නිසැකය.

    මූලික අධ්‍යාපන අවධිය ගත කරන ඔබේ දරුවන්ට පාසල තුළ ප්‍රීතිමත් හා ප්‍රියජනක ලෙස ගතකිරීමට අවශ්‍ය ශක්තිමත් අඩිතාලමක් දැමීමටත්, නිරීක්ෂණය හා ගවේෂණයට පෙළඹවෙන ස්වයං ඉගෙනුමට යොමු කරන ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය ක්‍රමෝපායන් පාසල් අධ්‍යාපනය පද්ධතියට එක්කිරීමටත් ක්‍රියාවට නංවා ඇති සහ නැංවිය යුතු සහ වැඩසටහන් රැසකි.

    ප්‍රාථමික අධ්‍යාපනයට පිවිසි ඔබේ දරුවන් කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කළ යුතු කරුණු හා තත්වයන් පිළිබඳ මවුපියන් වශයෙන් ඔබ ද දැනුවත් විය යුතු බොහෝ දේ පවතියි. විභාග මත පදනම් වෙමින් දැනුම ලෙස තොරතුරු එක්රැස් කරනු වෙනුවට , මතක ශක්තිය මැනබැලීමට එහා ගිය නිපුනතාවන්ගෙන් දරුවන් සන්නද්ධ කිරීමේ වගකීම ඔබට ද පැවරෙයි. පාසල් ප්‍රධානීන් මෙන් ම ප්‍රාථමික අධ්‍යාපන ගුරුවරුන් වෙත ද ඒ සම්බන්ධ සුවිශේෂ අවධානය යොමු කළ යුතුව පවතියි. වඩාත් ගුණාත්මක සහ ඵලදායී ප්‍රාථමික අධ්‍යාපනයකට ඔබේ දරුවා ප්‍රවේශ කරවීම වෙනුවෙන් රජයට ද ඔබට ද පැහැර හැරිය නොහැකි කාර්යභාරයක් පවතියි.

     

     

    ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෑතකාලීන සංවර්ධන ක්‍රියාමාර්ග

    ü ක්‍රියාකාරකම් මූලික ප්‍රාථමික විෂය නිර්දේශ නවීකරණ හඳුන්වා දීම

    ü විෂය නිර්දේශ නවීකරණ පිළිබඳ ප්‍රාථමික ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාවට නැංවීම.

    ü ක්‍රියාකාරකම් පාදක ප්‍රාථමික අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් පාසල් 651කට කියවීම් කාමර, ක්‍රියාකාරකම් කාමර සහිත ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන (Primary Learning Resource Center) ලබාදීම

    ü ප්‍රාථමික අධ්‍යාපනය සඳහා බඳවා ගන්නා ලද ගුරුවරුන් පළාත් මට්ටමින් පුහුණුකිරීම.

    ü ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සකස් කරන ලද පළමු සහ දෙවැනි ශ්‍රේණි සඳහා ක්‍රියාකාරකම් පාදක ඉංග්‍රීසි පොත සහ ඉගෙනුම් කට්ටලය පාසල් වෙත ලබාදීම

    ü රටේ සියලු දරුවන්ට පූර්ණ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙමින් නොමිළේ සුරක්ෂා සිසු රක්ෂණාවරණ හිමිකම ලබාදීම (මෙය පළමු ශ්‍රේණියට පිවිසෙන අද දවසේ සිට ඔබේ දරුවාට ද හිමිවෙයි.)

    ü සෑම වසරක ම 1-11 දක්වා ශ්‍රේණිවල සියලු දරුවන්ට නොමිළේ පාසල් පෙළ පොත් ලබාදීම සිදුකෙරෙන අතර, වසරක් පාසා නොමිළේ නිල ඇඳුම් ලබාගැනීමට හැකි පරිදි නිලඇඳුම් තිළිණපතක් ද හිමිවෙයි.

    ඔබේ දරුවාගේ පාසල් අධ්‍යාපන ගමන්මගට සවිමත් පන්නරයක් ලබාදෙමින් සඵලදායී අනාගතයක් වෙත ඔවුන් ප්‍රවේශ කරවීමටත්, අනාගත වැඩලෝකයට සාර්ථක ව මුහුණ දිය හැකි මානව සම්පත් ඒ හරහා ගොඩනැංවිමටත් සියලු දෙනාගේ සක්‍රීය දායකත්වය අතිශයින් ම වැදගත් වෙයි. ඒ වෙනුවෙන් සාමූහික ව එක්වන ලෙස ඔබ සැමට ඇරයුම් කරන අතර, ඔබේ දරුවා අරඹන අලුත් පාසල් ජීවිතය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා!යි සුබාශිංසන එක් කරන්නෙමු.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya