අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චමරි අතපත්තු එක්දින පිතිකාරිණියන් අතර අංක එකට

    ජූලි 05, 2023

    පිතිකාරිණියක ලෙස එක්දින තරග වලදී දිගින් දිගටම දක්වන ලද දක්ෂතා හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා ක්‍රිකට් එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත්ව සිටින්නීය.

    නවසීලන්තය කාන්තා පිලට එරෙහිව ඊයේ (ජුලි 04 දා) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වුණු එක්දින තරගාවලියේ තරග 3 දී ලකුණු 248 ක් රැස් කිරීමට චමරි සමත්වීමත් සමඟ එක්දින පිතිකාරිණියන් අතර පළමු ස්ථානය ඇයට හිමිව තිබේ.

    නවසීලන්ත කාන්තා කණ්ඩායමක් ද්වීපාර්ශ්වික තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව වශයෙන් සටහන් වුණු මෙම තරගාවලියේදී චමරි ශතක දෙකක් වාර්තා කිරීමට සමත්වූවාය. ඇය තෙවැනි එක්දින තරයේදී පන්දු 80 කදී නොදැවී ලකුණු 140 ක් වාර්තා කළ අතර එම ශතකය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම කිසිසේත් අපේක්ෂා නොකළ තරගාවලි ජයක් වාර්තා කර ගැනීමට ද අවස්ථාව උදාවිය. චමරිගේ මෙම සුවිශේෂී ඉනිම් දෙක නිසා ඉතිහාසයේ පළමු වතාවට නවසීලන්ත කාන්තා පිලට එරෙහිව තරගාවලිය 2-1 ක් ලෙස ජය වාර්තා කිරීමටද ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය.

    එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම වර්ෂාවෙන් බාධා වන විට පන්දුවාර 31 කදී කඩුලු 2 ට ලකුණු 127 ක් රැස් කරන ලදුව, ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුුව ශ්‍රී ලංකාවට පන්දුවාර 29 කදී ලකුණු 196 ක දැවැන්ත ඉලක්කයක් හිමිවිය. මුල් කඩුලු 2 ම ලකුණු 6 දී බිඳ වැටී තිබියදී නිලක්ෂි ද සිල්වා සමග එක්වූ චමරි තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේ ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ දැඩි ප්‍රහාරයකට ලක් කරමිනි.

    33 වැනි වියේ පසුවන වමත් ආරම්භක පිතිකාරිණී චමරි අතපත්තු, පළමු තරගයේදී නොදැවී ලකුණු 108 ක් ලබා ගත් නමුත් දෙවැනි තරගයේදී මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියාය. තරගාවලිය ජය ගැනීමට නම් ජයග්‍රහණය අනිවාර්යය වුණු තෙවැනි තරගයේදී නිලක්ෂි ද සිල්වා සමඟ එකතු වුණු චමරි තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 190 ක වාර්තා ගත සම්බන්ධතාවකට හිමිකම් කීවේ දැවැන්ත හයේ පහර 9 කින්ද සිය ඉනිම සරසා ගනිමිනි. මෙම කඩුල්ලේ සම්බන්ධතාව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ඔ්නෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුණු ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය.

    ඒ අනුව කාන්තා එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේදී එම ස්ථානයට පත් පළමු ක්‍රීඩිකාව බවටද චමරි ඉතිහාසගත වූවාය. එය පිරිමි කණ්ඩායම සමඟ සංසන්දනය කිරීමේදී එක්දින පිතිකරුවන් අතර මෙතෙක් කලක් අංක 1 ස්ථානයට පැමිණ ඇති එකම පිතිකරුවා වන සනත් ජයසූරිය හා සම තැන් ගැනීමක් ලෙසද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මේ පිළිබඳව නිකුත් කරන ලද නිවේදනයේ සදහන් කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya