අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද පළාත් 2014 ප‍්‍රණාම සම්මාන ප‍්‍රදාන උළෙල

    දෙසැම්බර් 21, 2014

    උතුරු මැද පළාත් පාලන සේවයේ කාර්ය සාධනය ඉහළ නැංවීමේ අරමුණෙන් පවත්වන ලද කළමනාකරණ සේවයේ 2014 ප‍්‍රණාම සම්මාන ප‍්‍රදාන උළෙල උතුරු මැද පළාත් පාලන ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    එම උළෙල පසුගිය බ්‍රහස්පතින්දා (18) උතුරු මැද පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.
     

    පළාත් පාලන ආයතනවලට වැඩි සැලකිල්ලක් දක්වා ජනතා යටිතල පහසුකම් සැලසීමේ ජාතික වැඩපිළිවෙළක් මහින්ද රාජපක්‍ෂ රජය ඇරඹූ බවත් ගම නැගුම" මග නැගුම" ජාතික සවිය" දිවි නැගුම ක‍්‍රියාත්මක කිරීමේ කාර්යභාර්ය ප‍්‍රාදේශීය සභා හා නගර සභා සාර්ථකව ඉටුකළ බවත් එහිදී සභාව ඇමතූ සමරකෝන් මහතා පැවසීය.


    එම අවස්ථාවේ දී තවදුරටත් අදහස් දැක්වූ ප‍්‍රධාන අමාත්‍යවරයා, “උතුරු මැද පළාතේ පළාත් පාලන ආයතන කාර්ය සාධනය ඉහළ නැංවීමේ අරමුණෙන් හා සේවකයන් ඇගයීම උදෙසා කළමනාකරණ සම්මාන ප‍්‍රණාම උළෙල ආරම්භ කළා. එමඟින් සේවක උනන්දුව හා කැපවීම ඉහළ මට්ටමකට පත්වුණා. එසේම පළාත් පාලන ආයතන ශක්තිමත් වුණා. ජනතා සේවයට කැප වු පළාත් පාලන ආයතන සේවකයන් ඇගයීමට ලක් කළා සේ ම ජයග‍්‍රාහී පළාත් පාලන ආයතනවලට මූල්‍ය ආධාර ද ලබා දුන්නා.


    2005 දී ජනාධිපතිතුමා බලයට පත්වන විට ප‍්‍රාදේශීය සභා, නගර සභා මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රතිපාදන ලබා දී තිබුනේ නැහැ. එතුමා ගමේ පොදු හා අත්‍යවශ්‍ය සේවා පළාත් පාලන ආයතනවලට බාර දුන්නා. උතුරු මැද පළාතේ ප‍්‍රාදේශීය සභා ආදායම් පහත වැටී තිබුණා. ජනාධිපතිතුමාත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාත් විශේෂ අවධානය යොමු කොට ප‍්‍රාදේශීය සභාවකට රුපියල් දස ලක්‍ෂය බැගින් ලබා දුන්නා. 2015 අයවැයෙන් ජනාධිපතිතුමා එම මුදල දෙගුණ කළා. එසේම අනියම් හා තාවකාලික සේවකයන් එක් දහස් නවසියයකට ස්ථිර පත්වීම් ලබා දුන්නා.


    ප‍්‍රාදේශීය සභා හා නගර සභා නියෝජිතයන්ගේ දීමනා ඉහළ මට්ටමකට පත් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කළා. උතුරු මැද පළාතේ පළාත් පාලන ආයතන වල විවිධ ප‍්‍රශ්න තිබුනා. සභාපතිවරුන්ගේ සංසදය ඉල්ලීම් දහයක් ඉදිරිපත් කර මා සමග සාකච්ඡා කළා. එම ඉල්ලීම් මේ වනවිට ඉටු කිරීම මා ලද ජයග‍්‍රහණයක් සේ සලකනවා. පළාත් පාලන ආයතන ජනතාවගේ උපතේ සිට මරණය දක්වා සමීපව කටයුතු කරනවා.


    උතුරු මැද පළාත් පාලන ආයතන සඳහා පුරනැගුම ව්‍යාපෘතියෙන් රුපියල් ලක්‍ෂ පන්සියයක් ලබා දීමට ජනාධිපතිතුමාත් බැසිල් රාජපක්‍ෂ ඇමතිතුමාත් කටයුතු කළා. මෙම අවස්ථාව උදාවූයේ උතුරු මැද පළාතට පමණක් බව පැවසූ ප‍්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කළේ පළාත් පාලන ආයතන සඳහා ජාතික වශයෙන් හා ප‍්‍රාදේශීය වශයෙන් ලැබෙන මූල්‍ය ප‍්‍රතිපාදන විනිවිද භාවයෙන් යුතුව නිවැරදිව ජනතා යහපතට යෙදවිය යුතු බවයි.


    තිස් වසරක යුද්ධය නිමාකළ ජනාධිපතිතුමා යෝධ සංවර්ධනයක් කරගෙන යමින් සිටින අතර අප සැම එක්වී එතුමාට ශක්තිය ලබාදිය යුතුයි. ජනාධිපතිතුමා පැහැදිලි වැඩපිළිවෙළක් හා දර්ශනයක් ඔස්සේ කටයුතු කරමින් සිටිනවා.“ යැයි ද කියා සිටියේය.


    උතුරු මැද 2014 කළමනාකරණ සේවයේ ප‍්‍රණාම සම්මාන උළෙලේ පළමු ස්ථානය නොච්චියාගම ප‍්‍රාදේශීය සභාවටත් දෙවන ස්ථානය කැකිරාව ප‍්‍රාදේශීය සභාවටත් තෙවන ස්ථානය කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය සභාවටත් හිමි විය.


    මෙම තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් ලක්‍ෂ සියයක්ද දෙවන ස්ථානයට රුපියල් ලක්‍ෂ හැත්තෑපහක්ද තෙවන ස්ථානයට රුපියල් ලක්‍ෂ පනහක්ද ප‍්‍රදානය කළ අතර අනුරාධපුර නගර සභාවට රුපියල් ලක්‍ෂ විස්සක් ද තලාව, නැගෙනහිර නුවරගම් පළාත, තිරප්පනේ මධ්‍යම නුවරගම් පළාත, මැදිරිගිරිය, තමන්කඩුව හා හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභා සඳහා රුපියල් ලක්‍ෂ දහය බැගින් ද මෙහිදී ප‍්‍රදානය කෙරිණි.


    උතුරු මැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, අනුරාධපුර මහ නගරාධිපති එච්.පී. සෝමදාස, උතුරු මැද පළාත් පාලන සභාපතිවරුන්ගේ සංසදයේ සභාපති පී.බී.එන්. ජයසුන්දර, පළාත් ප‍්‍රධාන ලේකම් එච්.එම්.ආර්.බී. හේරත්, උතුරු මැද පළාත් පාලන කොමසාරිස් ඩබ්ලිව්.ජී.එම්. මානෙල් යන මහත්ම මහත්මීහුද උතුරු මැද පළාත් පාලන ආයතන සභාපතිවරු, උප සභාපතිවරු හා මන්ත‍්‍රිවරු රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya