අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෛත්‍රී පාලනයක් ගොඩනැගීමේ එකඟතාවන් සති දෙක තුනක දී ඇති කර ගැනීමට හැකියාව තිබේද?

    නොවැම්බර් 22, 2014

    - විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රශ්න කරයි

     
    පෞද්ගලික කෝන්තර පොදු කෝන්තර බවට පත්කර ගනිමින් මෛත්‍රී පාලනයක් රට තුළ ගොඩ නැගීමේ පටු මෙහෙයුමක කුමන්ත්‍රණකාරී බලවේග නිරතව සිටින බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

    මෛත්‍රී පාලනයක් ගොඩනැගීම සඳහා එකඟතාවන් ඇතිකර ගැනීම සති දෙක තුනක් වැනි කෙටි කාලයකින් සිදුකර ගැනීමට හැකියාව තිබේද යන්න ගැටලු සහගත වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

     

    පටු කෝන්තර මත කවරෙකු පිල් මාරු කළද මේ රටේ ප්‍රගතිශීලී ජනතාව සිටින්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් සමග වන බවද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

     

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ 14, බණ්ඩාරනායක මාවතේ ඉදිකළ නිවාස 546කින් සමන්විත “සිරිමුතු උයන“ මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. මෙම උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) එම නිවාස ඉදිකළ පරිශ්‍රයේදී පැවැත්විණ.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා; “තමන්ට ගෙවල් හැදෙයි කියා නොසිතපු, ගෙවල් හැදෙන දවසක් උදා නොවෙයි කියා සිතපු, ඉතාම අඩු පහසුකම් යටතේ ජීවත්වුණ මිනිසුන්ට, ඔවුන්ගේ ජාතිය සිංහලද දෙමළද ලෙස නොබලා, ආගම කුමක්දැයි නොබලා, ඔවුන් ඡන්දය දුන්නේ කාටදැයි නොබලා, මේ පිබිදෙන රටේ අගනුවර ජීවත්වන දුප්පත් ජනතාවට නිවාස ලැබෙන දිනක් උදාවෙයි කියලා තමුන්නාන්සෙලා විශ්වාස කළේ නෑ. නමුත් අද ඒ ජනතාවගේ හිත යට තිබුණු ආශාව සැබෑ කරලා, ඒ ජනතාවට නිවාස 65000 ක් ඉදිකරලා දෙන දෙවන මානුෂීය මෙහෙයුමයි මේ කරගෙන යන්නේ.

     

    ජනාධිපතිතුමා යුද්ධය ඉවර කරලා අවුරුදු 4යි, යුද්ධෙට ආසා නම් යුද්දෙ ඉවරකරන්නේ නැහැ. උණ්ඩ කීයක් වැයවුණාද? බෝම්බ කීයක් පත්තු වුණා ද? කියලා කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ නිසා තමයි මීට කලින් පාලකයින් යුද්දේ ඉවර නොකළේ. යුද්ධය වවාගෙන කාපු, ෆෙඩරල් පදේට නටපු, පැකේජ අරන් ආපු, සුනාමි සහන මණ්ඩල කොටියට දෙන්න වලි කාපු අයට, මේ රට බෙදන ක්‍රියාන්විතයට උර දීපු අයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බැරි වුණා. නමුත් සුනාමි සහන මණ්ඩල කොටියට දෙන්න සෑහෙන වුවමනාවක් තිබුණා.

     

    එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දි, සභාපතිතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ඇරියේ නෑ, එකදු ඡන්ද පත්‍රිකාවක්, ඡන්ද පෝස්ටරයක් හදලා දුන්නේ නැහැ. ගණන් හදලා කිව්වා මහින්ද රාජපක්ෂට දිනන්න බැහැ කියලා. එහෙම කුමන්ත්‍රණ මැද්දේ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපති වශයෙන් පත්වුණේ. අදත් ඒ වගේ කුමන්ත්‍රණ සීයක් ආවත්, මේ රටේ ජනතාව මහින්ද රාජපක්ෂ මහතාව තුන්වන වරටත් ජනාධිපති කරලයි පස්ස බලන්නේ.

     

    මේ යුද්ධය ඉවර කරපු නායකයාව එලවන්න රටවල් දෙක තුනක තානාපති කාර්යාලවලට ඕනෑකම තියෙනවා, කොටි ඩයස්පෝරාවට  ඒ ඕනෑකම තියෙනවා, අහිංසක දෙමළ ජනතාවට නෙවෙයි ඔවුන්ටයි ඒ ඕනෑකම තියෙන්නේ. ඔවුන්ට ඕනේ ජනාධිපති මහින්ද රාජපක්ෂ නැති රටක්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නැති රටක්, තමන්ට ඕන ඕන විදියට නටවන්න පුළුවන් පඹයෙක් පාලනය කරන අස්ථාවර රටක්.

     

    ඒ ඕනෑකම ඉටුකරගන්න 2010 දී යුද්දෙ ඉවර කරලා සතියකින් යුධ හමුදාපතිතුමාව ජනාධිපති අපේක්ෂක ලෙස පත්කළා. මේ ජනාධිපති අපේක්ෂකයොත් පත්කරගන්නේ හදිස්සියේ ආප්ප හදනවා වගේ. මේ ආප්ප හදනවා වගේ ජනාධිපති අපේක්ෂකයෝ හැදෙන්නේ මොන රටකද? වෙන කොහෙවත් නැහැ. ලංකාවේ විතරයි. ලංකාවෙත්, විපක්ෂයේ විතරයි. ඒ අතින් ගත්තම රනිල් වික්‍රමසිංහ කියන්නේ සෑහෙන දක්ෂයෙක්. ක්‍රිකට් පොත අනුව කියනවා නම් පන්දුව නිදැල්ලේ යවන්න දක්ෂයෙක්. දැන් එදා ඒ යොදාගත්ත අපේක්ෂකයා තනිවෙලා. ෆොන්සේකා මහත්තයාම ඒ බව කියනවා. මේවා අහ අහා මේකට බෙල්ල දෙන බිල්ලෙක් හොයාගත්ත ආකාරය ගැන මට පුදුමයි. දැන් විපක්ෂයට ඉදිරිපත් කරන්න අපේක්ෂකයෙක් නැති නිසා, ඔවුන්ගේ අපේක්ෂකයා හොයනවා ආණ්ඩු පක්ෂයෙන්.  එතකොට කෝ තරගයක්? පෞද්ගලික කෝන්තර පිරිමහන්න කට්ටිය එහෙට මෙහෙට යයි, නමුත් රටේ ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව දිනවනකන් මේ සටන අතහරින්නේ නැහැ.

     

    දැන් කියනවා මෛත්‍රී පාලනයක් ගැන, මේ ගැන ඇහුවා ම මුලින් ම හිතුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නෝනාවත් එනවද කියලා. ඒ නෝනා නෙවෙයි, පරණ නෝනාවයි එක්කන් ඇවිත් තියෙන්නේ. අනෙක් ජනාධිපතිවරු විශ්‍රාම ගියාම කරදර නොකර හිටියා. ඒත් මේ නෝනාට බැහැ එහෙම ඉන්න. රටක් ජාතියක් ගැන නොහිතා, පෞද්ගලික කෝන්තර මත, තමන්ගේ තනතුරු අතහැරලා දාපු එක එක කුමන්ත්‍රණ කල්ලිවලට බැහැ මේ රටේ ජනතාවගේ මතය වෙනස් කරන්න.

     

    මේ ආණ්ඩුවට එරෙහි ව සටන් පාඨයක් නැහැ. රට බෙදපු ආණ්ඩුව කියන්න බැහැ, විජාතිකයින්ට රට විකුණපු ආණ්ඩුව කියන්න බැහැ, රාජ්‍ය අංශය දුර්වල කරපු ආණ්ඩුව කියන්න බැහැ, රටට වැඩ නොකරපු ආණ්ඩුව කියන්න බැහැ. ඒවා කියන්න බැරි නිසා ඔවුන් කියනවා පවුල් හවුල එළවමු කියලා. තමන්ගේ දෙමව්පියන් වැඩ කළ හැකි දරුවෝ හැදුවට ජනාධිපතිතුමා මොනා කරන්නද? සහෝදරයෝ නිසා වැඩ කළ හැකි අය ඉවත් කරන්නද? ආරක්ෂක ලේකම් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ නොහිටියා නම් යුද්දෙ ඉවරවෙයිද? මේ කල්ලිවලට අද වෛරය වපුරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

     

    මෛත්‍රී පාලනය ගැන සාකච්ඡා කරන්න අරන් සති තුනලු. සති තුනකින් කොහොමද මේවා කරන්නේ? දේශපාලනයේදි කොහොමද ආප්ප දානවා වගේ සති දෙකන් තුනෙන් වැඩ කරන්නේ. සති දෙකෙන් තුනෙන් කරන්නේ කසිප්පු පෙරනවා වගේ හොර වැඩ. ඊයේ රෑත් ජනාධිපතිතුමා එක්ක රෑ කෑම අරන් ඔය ගියේ. එහෙම කෙනෙක්ට ජනාධිපති වෙන්න පුළුවන්ද? පොදු අපේක්ෂකයා කියලා නම නොගිය කෙනෙක් අද පොදු අපේක්ෂකයා වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ හොරෙන්, යටින් කරපු කුමන්ත්‍රණයක් නිසා නෙවෙයිද?

     

    බොරු කැටයම්, ඉමිටේෂන් සටන් පාඨ දාගත්ත අවස්ථාවාදී කල්ලිවලට සංවර්ධනය වෙමින් ඉදිරියට යන මේ අපේ රට නැවත ආපස්සට අදින්න දෙන්න බැහැ. ඒ නිසා ජාතියක් වශයෙන් මේ අභියෝගය හිතට ගෙන රට වෙනුවෙන් මේ අවස්ථාවේදී එක්රොක් විය යුතු බව අප වටහාගත යුතුයි.” යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

     

    “සිරිමුතු උයන” නිවාස සංකීර්ණයේ එක් නිවසක් වර්ග අඩි 450 කින් යුක්ත වේ. නිදන කාමර 2 ක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, සඳළුතලයක් සහ සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විත මෙම නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 80 කි.

     

    රාජ්‍ය ආරක්ෂක හා  නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් මෙම නිවාස සංකීර්ණය ඉදිකර තිබේ.


    මෙම අවස්ථාවට ගෞරවනීය පූජ්‍ය පක්ෂය ද වැඩම කර සිටියහ. ඊට අමතර ව විදුලි සංදේශ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා, බස්නාහිර පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා, ප්‍රවීණ කලාකරු මධුමාධව අරවින්ද යන මහත්වරු,  ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, නිලධාරීහු, ප්‍රතිලාභීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.


    HC

     

    Sirimuthu Uyana Vested on Public

     

    Sirimuthu Uyana Vested on Public 1

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya