මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසුරුම්කරණයේ නව මාවත් විවර කරමින් ලෝක ඇසුරුම්කරණ කොංග්‍රසය අද කොළඹ දී

    නොවැම්බර් 20, 2014

    ලෝකයේ රටවල් 55ක සාමාජිකත්වයෙන් සැදුම්ලත් ලෝක ඇසුරුම්කරණ කොංග්‍රසය අද (20දා) කොළඹදී ආරම්භ විය.

     

    විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්  ආරම්භ වූ මෙම කොංග්‍රසය සඳහා ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, තුර්කිය ඇතුළු රටවල් 15කින් ප්‍රධාන පෙළේ ඇසුරුම්කරුවන් 25 දෙනෙක් හා දේශීය ඇසුරුම් කර්මාන්තකරුවන් 100 දෙනෙකු සහභාගී වූහ.

     

    ඇසුරුම්කරණ කර්මාන්තයේ උන්නතිය උදෙසා අත්‍යවශ්‍යයෙන් ම වැදගත් සාධක රැසක් පිළිබඳ සාකච්ඡාවට බඳුන් වන මෙම කොංග්‍රසය ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය හා ශ්‍රී ලංකා ඇසුරුම් ප්‍රවර්ධන මධ්‍යස්ථානය මඟින් සංවිධානය කර ඇති අතර ලංකාවේ මෙවැනි අන්තර්ජාතික ඇසුරුම්කරණ කොංග්‍රසයක් පවත්වන තෙවන අවස්ථාව මෙය වේ.
     


    කොංග්‍රසයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලංකාවේ ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ පසුගිය කාලය තුළ දී ඉතා සීග්‍ර වර්ධනයක් සිදුව ඇති බව ප්‍රකාශ කළේය.

     

    තවදුරටත් අදහස් දක්වමින් බදියුදීන් මහතා,


    “ඇසුරුම්කරණ කර්මාන්තය වර්තමානය වන විට වඩාත් ප්‍රචලිතව පවතිනවා. අපනයන කාර්යයේදී ඇසුරුම්කරණය සඳහා හිමි වන්නේ ඉතා ඉහළ ස්ථානයක්. ජාත්‍යන්තර වශයෙන් කෙරෙන මෙම හුවමාරුවන් සඳහා අවශ්‍ය දැනුම, තාක්ෂණය, අමු ද්‍රව්‍ය ආදී සෑම අදාළ කරුණක් සම්බන්ධයෙන්ම අවධානය යොමු කළ යුතු වෙනවා. 2012 දී ලෝක ඇසුරුම්කරණ කර්මාන්තයේ වටිනාකම ඇ.ඩො. බිලියන 799ක්. එය 2018 වර්ෂය දක්වා වාර්ෂිකව 4%ක වර්ධනයක් බලාපොරොත්තු වෙනවා.

     

     

    මුද්‍රණ කර්මාන්තය ඇසුරුම්කරණය සමඟ ඉතා තදින් බැඳී පවතිනවා. 2009 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා මුද්‍රණ කර්මාන්තයේ අපනයන අගය 25% කින් වර්ධනය වූ අතර එහි වටිනාකම ඇ.ඩො. මිලියන101ක් වෙනවා. ඇසුරුම් කර්මාන්තය දියුණු කිරීමට අප අමාත්‍යාංශය මගින් විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. ඒ සඳහා 2013 වර්ෂය තුළ ඇ.ඩො. 42000ක් වැය කර තිබෙනවා. එමෙන්ම ඇසුරුම්කරණයේ යෙදී සිටින ජාතික තලයේ මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ද දිරි ගැන්වීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. නිරන්තරයෙන් ඇති වන තාක්ෂණික පෙරළියන් පිළිබඳව කර්මාන්තකරුවන් දැනුවත් කර ඔවුන් ජාත්‍යන්තර තලයට ගෙන යාමට ද අප කටයුතු කරනවා” යැයි පැවසීය.

     

     

    ඇසුරුම්කරණය සඳහා ගෝලීය වශයෙන් ඇති අභියෝග හඳුනා ගැනීම, ඇසුරුම්කරණය හා අලෙවිකරණය, ඇසුරුම්කරණ නිර්මාණයේ කාර්යයභාරය, ඇසුරුම්කරණයේ ඵලදායීතාව පිළිබඳ විවිධ පැතිකඩයන් ඔස්සේ විශ්ලේෂණය කිරීම ආදී වැදගත් කරුණු රාශියක් මෙම කොංග්‍රසයේදී සාකච්ජාවට ලක් කිරීමට බලාපොරොත්තු වේ.


     
    විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරීස් මහතාද මෙහිදි අදහස් දැක්වීය.

     

     

    මෙම අවස්ථාව සඳහා ලෝක ඇසුරුම්කරණ ආයතනයේ සභාපති ටොම් ස්නයිඩර් (Tom Schneider) මහතා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අසිත සෙනෙවිරත්න මහතා, ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති බන්ධුල එගොඩගේ මහතා, ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනයේ සභාපති ඩී.සී. පෙරේරා මහතා හා ශ්‍රී ලංකා ඇසුරුම් ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ නිලධාරීහු පිරිසක් ඇතුළු දේශීය විදේශීය නියෝජිතයන් රැසක් ද සහභාගී වූහ. 

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya