මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එදා යුද්ධයට වැය කළ මුදල් අද රටේ සංවර්ධනයට වැය කළ හැකියි

    නොවැම්බර් 20, 2014

    අනාගතය පිළිබඳ ව බලාපොරොත්තු තබාගත හැකි සුබදායී වාතාවරණයක් බිහි වී ඇත්තේ වත්මන් රජය සිදුකරන වේගවත් සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙසින් බව  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.


    එතුමා මේ බව පැවසුවේ පසුගියදා කනංකේ සතිපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

    ලබන වසරේ මාතර පුරවරයේ දී පැවැත්වීමට නියමිත දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහනේ ප‍්‍රතිපාදන අනුව වැලිගම මැතිවරණ කොට්ඨාසයේ මිදිගම, කනංකේ සහ මිරිස්ස යන ප‍්‍රදේශවල සතිපොළ සංවර්ධනය කිරීම සිදු වේ. වෙළෙඳුන්ට වෙළෙදාම් කටයුතු පවත්වාගෙන යාමටත්, පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගැනීමටත් පහසුකම් සලසමින් නවීන අංගෝපාංග සහිත ව සතිපොළ සංවර්ධනය කරන අතර මෙම ව්‍යාපෘතිය ලබන වසරේ පෙබරවාරි මාසයට ප‍්‍රථම සම්පූර්ණ කර ජනතා අයිතියට පැවරීමට කටයුතු සැලසුම් කර තිබේ.

    මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා, රජයේ සංවර්ධන වැඩපිළිවෙළ නිසා ජනතාවට සහන රැසක් හිමි වී ඇති බව ප‍්‍රකාශ කළේය. කනංකේ සතිපොළ සංවර්ධනය කිරීම සඳහා දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහනින් රුපියල් කෝටි දෙකහමාරක ප‍්‍රතිපාදන වෙන් කර තිබේ. මෙලෙස ග‍්‍රාමීය අවශ්‍යතා කඩිනමින් ඉටුකිරීමේ හැකියාව ලැබී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ සඳහා අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන නොපමාව වෙන් කර දීමට කටයුතු කරන බැවිණි. රටේ මුදල් කාබාසිනියා කළ, රටේ ඉදිරි ගමන නතර කළ යුද්ධය අවසන් නිසා රටේ සංවර්ධනය වෙනුවෙන් මුදල් වෙන් කිරීමට හැකියාව ලැබී තිබේ. එදා තුවක්කු, පතරොම්, ආයුධ සඳහා වැය කළ මුදල අද පාලම්, බෝක්කු, මහාමාර්ග ඉදිකිරීමට වැය කළ හැකිය. යුද්ධය අවසන් කිරීමේ ප‍්‍රතිලාභ රටේ සෑම පුරවැසියෙකුට ම හිමි වී තිබේ.

    එදා මාර්ග කොන්ක‍්‍රීට් කළ ද අද වනවිට මාර්ග කාපට් දමා සංවර්ධනය කරන මට්ටමට මාර්ග සංවර්ධනය වැඩිදියුණු වී තිබේ. සාමාන්‍යයෙන් මාර්ගයක් කිලෝ මීටරයක් පමණ කාපට් කිරීම සඳහා අවම වශයෙන් රුපියප් මිලියන 15ක් පමණ වැය වේ. විශාල මුදල් සම්භාරයක් වැය කර සංවර්ධනය කරන මාර්ග ඉදිරි අවුරුදු ගණනාවකට යළිත් කිසිදු ප‍්‍රතිසංස්කරණයක් සිදු නොකර ප‍්‍රයෝජනයට ගත හැකිය. කාණු, බෝක්කු ආදී සියලු ම අංගෝපාංග සමඟින් මාර්ග සංවර්ධනය කිරීමට වත්මන් රජය දරන උත්සාහය සුළුකොට තැකිය නොහැක. ඇතැමුන් මෙම කාර්යය හෑල්ලු කළ ද මෙම සංවර්ධනයේ ප‍්‍රතිලාභ අපට පමණක් නොව අපේ ඉදිරි පරපුරට ද ප‍්‍රයෝජනවත් බව ඔහු  කීය.

    ඉදිරියේ දී කිසිදු මාර්ගයක් කාපට් නොකර ඉතුරු නොවන තරමට වත්මන් රජය මාර්ග සංවර්ධනය සිදු කරයි. මේ තත්ත්වය යටතේ වෙනත් රජයකට මාර්ග සංවර්ධනය පිළිබඳ කිසිවක් සිදු කිරීමට අවශ්‍ය නොවේ. අපේ දරුවන්ට සතුටින් ජීවත් වියහැකි සාමකාමී වාතාවරණයක් ජනාධිපතිතුමා විසින් ගොඩනඟා තිබේ. එම අනාගතය යළිත් කිසිවෙකුට විනාශ කිරීමට ඉඩදිය යුතු නැත. විපක්ෂය තවමත් පොදු අපේක්ෂකයා සොයමින් සිටියි. ජනාධිපතිවරණය අවසාන වන තෙක් ම පොදු අපේක්ෂකයාව සෙවීමට සිදුවනු ඇත. ඉදිරි ජනාධිපතිවරණයේදීත් කුමන බාධා ගැටලු මධ්‍යයේ වුවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවතත් ජනපති වන බව නියතයි. ඒ සඳහා රටේ ජනතාව වශයෙන් සියලු දෙනා එක් ව එතුමාට ආශිර්වාද කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.


     NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya