අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ ගෙවෙන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනාත්මක යුගයක්

    නොවැම්බර් 12, 2014
    මේ ගෙවෙන්නේ අපේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් ඉතාම වර්ධනාත්මක යුගයක් බවත් කලින් තිබුණු 5%ක වර්ධන වේගය 20% කට වඩා වැඩිය වර්ධනය වූ යුගයක් බවත් ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
     
    "මහාභිමානී 2014" ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලේ අවසාන මහා තරගාවලියට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    "මහාභිමානී 2014" ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල සඳහා ජයග්‍රාහකයන් තෝරාගැනීමේ අවසන් මහා තරග ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (11) බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානයේ දී ( CETRAC ) පැවැත්විණ.
     
    "මේ වනවිට අපිට තිබෙන විශාලත ම අභියෝගය තමයි මේ විශාල වශයෙන් සංවර්ධනය වන ඉදිකිරීම් ක්ෂේත්‍රයෙ අවස්ථා අත්පත් කරගැනීම සඳහා සුදුසුකම් සපුරන ලද ශිල්පීන්ගේ තිබෙන හිඟකම. ඒ ශිල්පීන් පරම්පරාව නිර්මාණය කරගැනීමට තිබෙන බාධාව තමයි ආකල්පමය බාධාව. ඒ තමයි සමාජය ඔවුන් දෙස බලන විදියේ තියෙන වැරැද්ද. මේ ආකල්පය වෙනස්කිරීමට හා ඔවුන්ටත් ඔවුන් හා ඔවුන්ගේ වෘත්තිය පිළිබඳ විශාල ගෞරවයක් ඇතිකිරීමේ අරමුණින් තමයි ඒ ඒ ක්ෂේත්‍රයේ ජයග්‍රාහකයන් තෝරලා ඔවුන්ට අතිගරු ජනාධිපතිතුමා අතින් ඇගයීම් ලබාදෙන්නෙ".
     
    "මහාභිමානී - 2014 ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලට" ජයග්‍රාහකයන් තෝරාගැනීම සඳහා අංශ කිහිපයක් යටතේ දිවයින පුරා තරග පවත්වා තිබේ. ජලනළ කාර්මික ශිල්පී, ටයිල් ඇතුරුම් ශිල්පී, කම්බි නැවුම් ශිල්පී, පින්තාරු ශිල්පී, ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ කාර්මික ශිල්පී, පෙදරේරු ශිල්පී, වඩු කාර්මික ශිල්පී, විදුලි කාර්මික ශිල්පී, ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ මෙහෙයුම් ශිල්පී යන අංශ යටතේ  එක් අංශයකින් දිවයිනේ ප්‍රථම ස්ථානය බැගින් තරග අංශ 9 සඳහා ජයග්‍රාහකයන් තෝරා ගැනේ. ඊට අමතර ව සියලු ම තරග අංශ අතුරින් දක්ෂතා දක්වන විශිෂ්ටත ම බහුවිධ නිපුණතා ශිල්පියා තෝරා ගැනීම ද මෙදින සිදු කෙරේ. 
     
    "උතුරු නැගෙනහිර ඇතුළු සියලු ම පළාත්වලින් දැවැන්ත නියෝජනයක් මේ සඳහා ඇති වී තිබෙනවා. ඒ තුළින් මේ ක්ෂේත්‍රයට අලුතින් එන තරුණ පිරිසට නව ප්‍රබෝධමත් හැඟීමක් ජනිත කළ හැකි ව තිබෙනවා. ඒ අනුව අපි හිතනවා 1වන මහාභිමානී  ඉදිකිරීම් සම්මාන උළෙල වඩා සමාජයට මෙවර යම් බලපෑමක් කළ හැකිවෙයි කියලා".
     
    "රටක සියයට සියයක් සියලු ම ඉදිකිරීම් රජයකට කරන්න බැහැ. රජයට නොවෙයි රජයටයි පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ටයි කියන දෙපිරිසම එකතු වුනත් කරගන්න බැරි තරම් ම වැඩ අද තියෙනවා. ඒ නිසා රජයේ ආයතන පමණක් මේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් නිරත විය යුතුයි කියන මතයේ මේ රජය නැහැ. පෞද්ගලික ඉදිකිරීම් කොන්ත්‍රාත් ආයතනත් තව තවත් බිහිවිය යුතුයි. ඒවා තව තවත් ශක්තිමත් විය යුතුයි. එය තමයි දැන් මේ සිදුවෙමින් පවතින්නේ" යනුවෙන් ද පැවසීය. 
     
    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු ශිල්පීන් බහුවිධ හැකියාවන්ගෙන් හා තාක්ෂණයෙන් සවිබල ගැන්වීමේ අරමුණෙන් විමල් විරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍යාංශය, ඉදිකිරීම් අභ්‍යාස සංවර්ධන ආයතනය (ICTAD) හා ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය ( NCASL ) එක්ව "මහාභිමානී 2014" ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් මස 15 දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. 
     
    එක් එක් අංශවල විශිෂ්ටතම ශිල්පියා හා විශිෂ්ටතම බහුවිධ ඉදිකිරීම් ශිල්පියාට හිමි ත්‍යාග, සම්මාන හා සහතිකපත්‍ර ජනාධිපතිතුමා අතින් එදින ප්‍රදානය කිරීමට නියමිතය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya