අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝලීය දෙමළ සංසදයේ රැස්වීමට විපක්ෂ නායකවරයාට ආරාධනයක්

    ඔක්තෝබර් 23, 2014
    ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ජනතාව විසින් ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා චාල්ස් ඥානකෝන්ගේ සහෝදරයා විසින් මැලේසියාවේ සංවිධානය කර ඇති රැස්වීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද ආරාධනා ලැබී ඇති බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා හෙළිකරයි. 
     
    ඒ වෙනුවෙන් විපක්ෂ නායකවරයාට ආරාධනා කළ ඊමේල් පණිවිඩ පවා තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි. 
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් 200 දෙනෙක් සඳහා ජන සෙවණ උපහාර නිවාස ණය හා ප්‍රතිලාභීන් 50 දෙනෙක් සඳහා හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ  උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. 
     
    "චාල්ස් ඥානකෝන් කියන්නේ ප්‍රකට එල්ටීටීඊ සාමාජිකයෙක්. එයාගේ සහෝදරයා තමයි ඉදිරි දිනවලදී මැලේසියාවේ පැවැත්වීමට නියමිත ගෝලීය දෙමළ සංසදයේ රැස්වීම කැඳවලා තියෙන්නේ. ඔවුන් එසේ රැස්වෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ සිටින දෙමළ ජනතාව ඉදිරි ජනාධිපතිවරණයේ දී කාටද ඡන්දය දිය යුතු කියලා තීරණය කිරීමට. ඒ සඳහා වික්‍රමසිංහ මහත්තයටත් ආරාධනා කරලා තියෙනවා". 
     
    "විපක්ෂ නායකතුමා කියනවා එතුමා බලයට පත් වුණොත් ඉන්පසු දහතුන අකුරට ම ක්‍රියාත්මක කරනවා කියලා.  අකුරට ම කියන්නේ එතුමාගේ වචන. ඒ කියන්නේ උතුරට පොලිස් බලය, ඉඩම් බලය ලැබෙනවා. ඉඩම් බලය ලැබුණු ගමන් හමුදාවට උතුරෙන් කඳවුරු දාලා එන්න වෙනවා කියන එකයි. ඒ අතර සිවාජිලිංගම් මන්ත්‍රීතුමා කියනවා උතුරෙන් බුදුපිළිම ගලවනවා කියලා. උතුර හා නැගෙනහිර යළි එකතුවෙනවා". 
     
    ලබාගත් දේ අහිමි කරගෙන අලුත් දේවල් ලබා ගැනීමේ හීනයකට මේ රට ගෙන යන්න ඇතමුන් මාන බලන බවත් එය සාර්ථක නොවන බවත් ඒ තත්ත්වය මේ රටට විපත පමණක් රැගෙන එන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    මෙහිදී අමාත්‍යරවයා  වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරගෙන යන නිවාසකරණ වැඩපිළිවෙළ පිළිබඳ ව ද මෙසේ අදහස් දැක්වීය. "2011 වර්ෂය  වන තුරු ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, තනි පුද්ගලක නිවාස, රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉදි කළ නිවාස ආදී සියලු වර්ගවල නිවාස එකතු කළත් වර්ෂයකට ඉදිවුණේ ලක්ෂයකට අඩු නිවාස ප්‍රමාණයක්. එහෙත් ජන සෙවණ  නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම 2010 වර්ෂයේ අවසාන භාගයේ ආරම්භ කර ඒ තුළින් ලබා දුන් උද්යෝගයෙන් පසු ව 2011 වර්ෂයේ මේ රටේ නිවාස ලක්ෂ 4ක් නිර්මාණය  වුණා. ඒ අනුව අද වන විට තම තමන්ට බලපාන ජන කණ්ඩායම් සඳහා නිවාස නිර්මාණය කිරීමට අමාත්‍යාංශ 25ක් හා රාජ්‍ය ආයතන 40ක් ඉදිරිපත් වී තියෙනවා. එහි ප්‍රතිලාභයක් වශයෙන් තමයි 2011ට කලින් වර්ෂයකට ලක්ෂයකට වඩා අඩුවෙන් නිර්මාණය වූ නිවාස  තොගය 2011 වර්ෂයේ දී පමණක් නිවාස ලක්ෂ 4ක් දක්වා වර්ධනය වුණේ". 
     
    2012 ජන හා  නිවාස සංගණන වාර්තාව අනුව දකුණු ආසියාවේ අඩුම අස්ථීර නිවාස ප්‍රමාණය තියෙන රට මේ රට. ඒ ප්‍රමාණය නිවාස  123,000ක්. ඒ නිවාස සංඛ්‍යාවත් ඇතුළු ව අද වැඩි දියුණු කළ යුතු නිවාසත් ඇතුළු ව මේ රටේ නිවාස  හිඟය තියෙන්නේ නිවාස ලක්ෂ 7කට මඳක් අඩු ප්‍රමාණයක්. ඒත් සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා තව ම මේ රටේ නිවාස ලක්ෂ 15ක හිඟයක් තියෙනවලු. එතුමාට තවම මතක තියෙන්නේ  එතුමාගේ තාත්තාගේ කාලේ නිවාස ගණන් ද  කොහෙද. එතුමා කියන තරම් අපේ රටේ නිවාසකරණයේ හිඟය බරපතළ නැහැ යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 
     
    මෙම අවස්ථාවට සබරගමුව පළාත් සභා මන්ත්‍රීවරුන් වන දීපාල් ගුණසේකර, ප්‍රභාත් අල්විස්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බී.ජී.එස්. ගුණතිලක, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ යන මහත්ම මහත්මීහු, ප්‍රතිලාභීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya