මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2012 සාමාන්‍ය පෙළ පස්වෙනියාට නව නිවස භාර‍දෙයි

    ඔක්තෝබර් 21, 2014
    2012 වසරේ අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ, විභාගයෙන් දිවයිනේ පස්වෙනියා වූ රත්නපුර, පොල්වත්ත පදිංචි සහන් ලක්ෂිත ශිෂ්‍යයාට රුපියල් ලක්ෂ 40ක වටිනාකමෙන් යුත් ඉඩමේ සහ “ජන සෙවණ” නව නිවසේ අයිතිය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් අද (21) ප්‍රදානය කළේය.
     
    2012 වසරේ දී පැවති සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ පස් වෙනියා වූ සහන් ලක්ෂිත සිසුවා සඳහා ලබා දෙන නව නිවස නිදන කාමර 2කින්, සාලයකින්, මුළුතැන්ගෙයකින් සහ නාන කාමරයක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක මෙම නිවස ඉදිකර තිබේ.
     
    සහන් ලක්ෂිත ශිෂ්‍යයා ජීවත්වූයේ ඉතා අඩු පහසුකම් නිවසකය. එම අඩු පහසුකම් නිවස ඉදිකර ඇත්තේද අනවසර ඉඩමකය. ඒ අනුව සහන් ලක්ෂිත ශිෂ්‍යයා ඇතුළු පවුල දැඩි අසරණ ජීවිතයක් ගත කළේ ජීවත් වීම සඳහා ස්ථීර නිවසක් ඉදිකරගැනීම සැබැවින්ම සිහිනයක් වූ නිසාය. එම අඩු පහසුකම් නිවස පිහිටා තිබෙන කරවිට, පලාවෙල ග්‍රාමය දුෂ්කර ප්‍රදේශයක් වන අතර රත්නපුරයේ සිට එම ගම්මානයට යෑමට පැය 2කට අධික කාලයක් ගත වේ. සහන් ලක්ෂිත  සිසුවා රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබයි. මෙවැනි අභියෝග රැසක් මධ්‍යයේ අධ්‍යාපනය හදාරා මුළු දිවයිනෙන් ම 2012 වසරේ 
    සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්වෙනියා බවට පත්වීම විශේෂත්වයකි. 
     
    මෙම සහන් ලක්ෂිත ශිෂ්‍යයා මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ ව මාධ්‍ය මගින් තොරතුරු දැනගත්  විමල් වීරවංශ අමාත්‍යවරයා එම ශිෂ්‍යයා ඇතුළු පවුලේ සියලු දෙනා අමාත්‍යාංශයට කැඳවා ජන සෙවණ නිවාස වැඩසටහන යටතේ ඉඩමක් ලබාදී එහි අංග සම්පූර්ණ නිවසක් ඉදිකරදීමට කටයුතු කරන බව දැනුම් දුන්නේය. 
     
    මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා  කියා සිටියේ අගහිඟකම් මැද අධ්‍යපාන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දස්කම් පෙන්වමින් රටට කීර්තිය ගෙන දෙන දරු දැරියන් රැසකට ජන සෙවණ තුළින් සෙවණ හිමිවී ඇති බවයි. 
     
    මෙම නිවස ලබාදීම පිළිබඳ ව සහන් ලක්ෂිත ශිෂ්‍යාගේ පවුලේ සැමත් ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ශිෂ්‍යයෝ ද ප්‍රදේශවාසීහු ද විමල් වීරවංශ අමාත්‍යවරයාට සිය ස්තූතිය පුදකර සිටියහ.
     
    “මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ‘‘ජන සෙවණ” ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව විවිධ අංශ ආවරණය වන පරිදි ජන සෙවණ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක වේ.
     
    සහන් ලක්ෂිත ශිෂ්‍යයා මෙහිදී ප්‍රකාශ කළේ  තමන්ට අධ්‍යාපන කටයුතු වඩාත් සාර්ථක කරගැනීමට නිවසක් ලබාදී කරන ලද මෙම උපකාරයට ලබන වසරේ උසස් පෙළ විභාගයෙන් තමන් උපරිම ප්‍රතිඵල පෙන්නුම් කරන බවයි.
     
    විමල් වීරවංශ අමාත්‍යවරයාගේ රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් සබරගමුව පළාත් සභා මන්ත්‍රී, දීපාල් ගුණසේකර, රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ විදුහල්පති උපාලි ජයතිස්ස, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බී.ජී.එස්. ගුණතිලක, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ යන මහත්ම මහත්මීහු, නිලධාරීහු, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya