අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මහාභිමානී" හරහා ඉදිකිරීම් ශිල්පීන් රැසකට ඉදිරියට පැමිණීමට අවස්ථාව

    සැප්තැම්බර් 15, 2014
    මෙරට  ඉදිකිරීම් ක්ෂේත්‍රය නව මාවතකට යොමු කරමින් ඉදිකිරීම් කර්මාන්තකරුවන්, 
    වෘත්තිකයන් සහ ශිල්පීන් එක ම වේදිකාවක් තුළ ජාතික වශයෙන් ඇගයීමට ලක්කෙරෙන 
    "මහාභිමානි" ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල හරහා සීග්‍ර වර්ධනයක් කරා එළඹී ඇති 
    ජාතික ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය කරන ජීව ගුණය නිෂ්පාදනය කෙරෙන බව ඉදිකිරීම්, 
    ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ "මහාභිමානී - 2014" ජාතික ඉදිකිරීම් සම්මාන 
    උළෙලට සමගාමී ව සංවිධානය කරන ලද "සහයෝගීතා හමුවකට" ප්‍රධාන ආරාධිතයා 
    ලෙස සහභාගී වෙමිනි. මෙම හමුව පසුගියදා කොළඹදී පැවැත්විණ.
     
    ඕනෑ ම ක්ෂේත්‍රයක් තුළින් අපේක්ෂා කරන ගුණාත්මක සේවාවක් හා වර්ධනයක් 
    ලබාගැනීමට නම් ජීව ගුණය නැමති සාධකය එම ක්ෂේත්‍රයට ඉතා වැදගත් වෙනවා. අපේ 
    ආරක්ෂක හමුදාවන්ට ලෝකයේ බලවත් ම ත්‍රස්තවාදය පරාජයට පත්කිරීමට ජීව ගුණය 
    නමැති සාධකය ප්‍රධාන වශයෙන් ම ඉවහල් වුණා. එ මෙන් ම මෑත ඉතිහාසයේ දළ ජාතික 
    නිෂ්පාදනයෙන් 8%ක ප්‍රමාණයකට හිමිකම් කියන, 21%ක් ඉක්ම වූ වර්ධන වේගයක් 
    ලබාගෙන ඇති ජාතික ඉදිකිරීම් ක්ෂේත්‍රයට ද ජීව ගුණය නමැති සාධකය අත්‍යවශ්‍ය 
    සාධකයක්.  
     
    ඉදිකිරීම් ක්ෂේත්‍රය හා බැඳුණු කර්මාන්තකරුවන්, වෘත්තිකයන් හා ශිල්පීන් ඇගයීමට 
    ලක්කිරීම, දිරිගැන්වීම මෙන් ම ප්‍රශස්ත සේවාවක් ඉටුකිරීම සඳහා ඔවුන් තුළ මානසික 
    උද්යෝගයක් ඇති කිරීම තුළින් එම ජීව ගුණය වඩාත් පරිපූර්ණ ව ලබාදිය හැකි වෙනවා.
    දේශීය මෙන් ම විදේශීය වශයෙන් ද ඉදිකිරීම් කර්මාන්තය ජයගන්නා පිරිසක් බවට 
    මෙරට ඉදිකිරීම් කර්මාන්තකරුවන් පත්කිරීමට මෙන් ම බහුවිධ හැකියාවන්ගෙන් යුත් 
    ඉදිකිරීම් වෘත්තිකයන් නිර්මාණය කිරීම සඳහාත් තමන්ට පැවරෙන කාර්ය භාරය මැනවින් 
    ඉටුකළ හැකි පිරිසක් බවට මෙරට ඉදිකිරීම් ශිල්පීන් පත්කිරීමට අවශ්‍ය ශක්තිය ජාතික 
    ඉදිකිරීම් සම්මාන උළෙල මඟින් හිමිවන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය 
    (ඉක්ටෑඩ්) සහ ජාතික ඉදිකිරීම් සංගමය එක් ව "මහාභිමානි - 2014"ජාතික ඉදිකිරීම් 
    සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.
     
    විශිෂ්ටතම ඉදිකිරීම් ආයතන, විශිෂ්ටතම වෘත්තිකයන් සහ විශිෂ්ටතම ඉදිකිරීම් ශිල්පීන් 
    යනාදී ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ "මහාභිමානි විශිෂ්ටතා" සම්මානයන්  ප්‍රදානය කරනු 
    ලබයි.
     
    විශිෂ්ටතම ඉදිකිරීම් ආයතන සහ විශිෂ්ටතම ඉදිකිරීම් වෘත්තිකයන් තෝරාගැනීමේ 
    කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ. මීට අමතර ව විශිෂ්ටතම ඉදිකිරීම් ශිල්පීන් 
    තෝරා ගැනීමේ කටයුතු පළාත් මට්ටමින් පැවැත්වෙන මූලික වටයේ තරග තුළින් ආරම්භ 
    කෙරේ.
     
    " මහාභිමානී - 2014" ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල සඳහා අනුග්‍රහකත්වය දක්වන අනුග්‍රාහක භවතුන් හඳුනාගැනීම සහ ඔවුන් දැනුවත් කිරීමේ අරමුණෙන් මෙම සහයෝගිතා හමුව මෙදින සංවිධානය කර තිබිණ.
     
    මෙම සම්මාන උළෙල පිළිබඳ ව රාජ්‍ය හා පෞද්ගලික අංශවල ඉදිකිරීම්  කර්මාන්තයන්හි 
    ප්‍රධානීහු, ව්‍යාපාරිකයෝ සහ රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ප්‍රධානීහු ඇතුළු පිරිසක් ද මෙහිදි අදහස් පළ කළහ.
     
    "මහාභිමානී - 2014" ජාතික ඉදිකිරීම් සම්මාන රාත්‍රිය අතිගරු ජනාධිපති මහින්ද 
    රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වසරේ දෙසැම්බර් මස 18දා කොළඹ 
    සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
     
    මෙම සහයෝගිතා හමුව සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් 
    අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන 
    ආයතනයේ සභාපති වාස්තු විද්‍යාඥ අනුර දසනායක, ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති 
    දේශමාන්‍ය එස්.පී. ලියනආරච්චි, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති චිත්‍රා 
    වෙඩික්කාර, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා, රාජ්‍ය 
    සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කැෂියන් හේරත්, මාගා (MAGA) 
    ආයතනයේ  සභාපති කපිතාන් කුලරත්න යන මහත්ම මහත්මීහු, ඉදිකිරීම් කර්මාන්තකරුවෝ, ඉදිකිරීම් වෘත්තිකයෝ, මූල්‍ය බැංකු ප්‍රධානීහු, ව්‍යාපාරිකයෝ ඇතුළු 
    පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya