අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියවර දිරිය ධීවර ණය යෝජනා ක‍්‍රමය මාදැල් ධීවරයන්ටත්

    සැප්තැම්බර් 15, 2014

    දියවර දිරිය ධීවර ණය යෝජනා ක‍්‍රමය යටතේ මාදැල් ධීවරයන්ටත්, ණය ලබාදීමට මේ වන විටත් පියවර ගෙන තිබෙන බවත් 2013 වසරේ මාදැල් ධීවරයන්ගෙන් දියවර දිරියට අයදුම්පත් 15ක් පමණ ලැබී ඇති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    එම අයදුම්පත් සියල්ල ම ධීවර අමාත්‍යාංශය අනුමත කර, බැංකුවට යවා ඇති අතර මේ නිසා ඉදිරි කාලයේ දී මාදැල් ධීවර කර්මාන්තය සංවර්ධනය කරගන්න අඩු පොලියට ණය ආධාර ලබාදීමට දියවර දිරියෙන් අවස්ථාව ලැබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා මීගමුව කුඩාපාඩුව සමුපකාර සංගම් ශාලාවේ පැවති සීමාසහිත සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ ධීවර සමූපකාර සමිතියේ 37 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

     

    මෙහිදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඉල්ලීමකට අනුව මාදැල් අදින "වින්ච්" නමැති යන්ත‍්‍රය සවිකරණ ලද ට්‍රැක්ටර් ප‍්‍රදර්ශනයක්ද පැවැත්වුණි. මේ ට්‍රැක්ටරයේ සවිකරන ලද වින්ච් යන්ත‍්‍රය නිසා විශාල මිනිස් ශ‍්‍රමයක් මාදැල් ඇදීමට යෙදිය යුතු නැත. මාදැල ඇදීම යන්ත‍්‍රානුසාරයෙන් සිදු කෙරේ.

     

    මෙහිදී ට්‍රැක්ටර් සමාගම් කීපයක වින්ච් යන්ත‍්‍රය සහිත ටැක්ටර් ප‍්‍රදර්ශනය සඳහා තබා තිබූ අතර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා බ‍්‍රවුන්ස් සමාගම් ටැෆේ ට්‍රැක්ටර් ප‍්‍රදර්ශන කුටිය ඇතුළු ප‍්‍රදර්ශන කුටි නැරඹූ අතර වින්ච් එක සහිත ටැෆේ ට්‍රැක්ටරයේ ක‍්‍රියාත්මක භාවය ගැන ද පරීක්‍ෂා කර බැලීය. එසේ ම වින්ච් සහිත ටැෆේ ට්‍රැක්ටරයක් මිලදී ගත් ධීවරයන්ට යතුරු ප‍්‍රදානය කිරීමද මෙහිදී සිදු විය.

     

    මාදැල් ලෝකයේ මෙන් ම අප රටේ ද  ඉතාමත් පැරණි ම ධීවර පන්න ක‍්‍රමයකි. මේ නිසා වර්ෂ 1933 වන විට රජය මාදැල් ලියාපදිංචි කිරීම ආරම්භ කර මාදැල් ධීවරයන්ට බලපත‍්‍ර ලබාදීම ආරම්භ කර තිබේ. වර්ෂ 1984දී මාදැල් ආශ‍්‍රිත සියලු තොරතුරු හා දත්තයන් එක්රැස් කර මාදැල් ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා ධීවර ආඥා පනත යටතේ මාදැල් ධීවර නියෝග පිළිබඳ අති විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කරනු ලැබීය. මෙම ගැසට් පත‍්‍රයට අනුව මාදැල් පාඩු ගණන 988කි. මුල් කාලයේදී ශ‍්‍රී ලංකාවේ මාදැල් 2000කට ආසන්න ප‍්‍රමාණයක් රට පුරා ව්‍යාප්තව පැවති අතර දැනට මාදැල් 988ක් පමණ සක‍්‍රීය ව ක‍්‍රියාත්මක වන බව මාදැල් හිමියන්ගේ සමූපකාර සමිතිය පවසයි. මෙම මාදැල් ධීවර පන්න ක‍්‍රමයෙන් ඍජු ලෙස හා වක‍්‍ර ලෙස යැපෙන ප‍්‍රමාණය ලක්ෂ 4 කට වැඩිය. එසේ ම මාදැල් ධීවර කාර්මිකයන් මෙරට මත්ස්‍ය නිෂ්පාදනයෙන් 35%ක ප‍්‍රමාණයක් සපයමින් දායක වෙති. මාදැල් මත්ස්‍ය නිෂ්පාදනයේ සුවිශේෂී තත්ත්වය වන්නේ ප්‍රෝටීන් සපිරි අලුත් නැවුම් මාළු අස්වැන්නක් පරිභෝජනය සඳහා ලබාදීමට හැකි වීමයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය. "1984 මාදැල් නියෝග යුගයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම හා නව නීතිරීති ඇතුළත් කිරීම හා වසර අවසානයට පෙර ඉදිරිපත් කිරීම පිළිබඳවත්, සංශෝධනය පිළිබඳවත් දැනට සාකච්ඡා කරගෙන යනවා. මෙහි අවසාන සංශෝධනය ඉදිරිපත් කරන්නේ ඔබත් සමඟ කතා කරලයි. මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් සංශෝධන අවසන් කර සම්මත කරගන්න බලාපොරොත්තු වෙනවා. එක ම පවුලේ ස්වාමිපුරුෂයාට හා බිරිඳට ලබා දෙන්නේ එක බලපත‍්‍රයයි. රජයේ හැම බලපත‍්‍රයක් ම කිසිම දවසක එක ම පවුලේ දෙන්නෙකුට දෙන්නේ නැහැ. එක පවුලකට බලපත‍්‍ර දෙකක් දෙන්න බැහැ. ඒවා රජයේ අයිතීන්. එයයි රටේ නීතිය.

    සෑම වසරක ම වයඹ පළාත් හා උතුරු නැගෙනහිර පළාත්වල දැනටත් රැකියාවේ යෙදෙන අප සාමාජිකයන්ට බාධාවකින් තොර ව රැකියාවේ යෙදීම සඳහා අදාළ ගැසට් සංශෝධනයට ඇතුළත් කරන මෙන් ඉල්ලා සිටීයා, අප එය ඉටු කරනවා. ඒ වගේ ම නාවික සැතපුම් 1 1/2ක් තුළ මාදැල් රැකියාවේ නිරත විය හැකි ආකාරයට තව මාසයක්, ධීවර නියෝග සංශෝධනයට ඇතුළත් ව එම නීතිරීති කඩන්නවුන් සඳහා ගන්නා වූ ක‍්‍රියාමාර්ග පිළිබඳව ද ගැසට් නිවේදනය නිකුත් කිරීම බලාපොරොත්තු වෙනවා.

     

    එමෙන්ම 2011, 2012 අයදුම්පත් තියෙන කාලේ දියවර දිරිය ණය යෝජනා ක‍්‍රමයට මාදැල් සඳහා ණය පහසුකම් ලබාගැනීමට යෝජනාව අතපසුවීමක් වුණා. නමුත් අපි එය 2012දී ඇතුළත් කළා 2013 වර්ෂයට. ඒ නිසා 2013 වර්ෂයේදී දියවර දිරියට මාදැල් අයදුම්පත් 15ක් ඇවිල්ලා ඒ සියල්ල නිර්දේශ කර යවලා තියෙනවා. ඉදිරියට මේ ණය ගන්න පුළුවන්. ලංකා බැංකුව, මහජන බැංකුව ලංකාව තුළ ස්ථාපනය කළේ පොඩි මිනිසුන් වෙත ණය යෝජනා ක‍්‍රම ගෙනයාමටයි. මේ පොඩි මිනිසුන්ට ණය ලබාදීම සඳහා කිසිම ඇපයක් නැහැ, 
    අපි දන්නවා නීතියක් නැති රටක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබත් දැනගන්න නීතියට යටත් ව ක‍්‍රියාත්මක වෙන්න. හැම දියුණු වන රටක ම ප‍්‍රධාන දේ විනය. ඔබත් අපිට නීතිය ක‍්‍රියාත්මක කරන්න උදව් කරන්න. 

    අද වෙද්දී ධීවර කර්මාන්තය අතින් බොහොම හොඳ රටක් හැටියට අපි පත්වෙලා ඉන්නවා. අද වෙද්දී ආසියාවේ වැඩියෙන් ම ධීවර කර්මාන්තය වර්ධනය වෙලා තියෙන රට ලංකාවයි. මේවා අපි පසුගිය අවුරුදු 3 තුළ ලබා ගත්ත ජයග‍්‍රහණ. මාදැල් කර්මාන්තය ලංකාව තුළ ඉතා වැදගත් කර්මාන්තයක් ලෙස ප‍්‍රතිපත්තියක් වශයෙන් තීන්දු කරලා තියෙනවා. මාදැල් කර්මාන්තය ආරක්‍ෂා කරගත යුතුයි. මෙය සාම්ප‍්‍රදායික පාරම්පරික කර්මාන්තයක්.  අපි කිසි ම භේදයක් නැතුව දකුණට වඩා පසුගිය කාලේ උතුරට වැඩ කළා. උතුරේ ජාතික නිෂ්පාදනය 7% සිට 23% දක්වා වැඩි කළා. මගේ අභිප‍්‍රාය 50%ක අස්වැන්නක් ලබාගැනීමයි. ඒ නිසා තමයි ඉන්දියාවේ ට්‍රෝලර් යාත‍්‍රා වෙනුවෙන් මේ සටන ගෙනයන්නේ. අපි කවදාවත්, කිසි දවසක ජාතියක්, කුලයක්, ආගමක් බලලා වැඩ කරන්නේ නැහැ. ඔබ එක එක්කෙනාගේ වුවමනා එපාකම් ඉෂ්ට නොකර තමන්ගේ ප‍්‍රතිපත්තිවල ජීවත්වෙන්න. විසඳගන්න බැරි දේවල් සටන්කාමී ව විසඳගන්න බැහැ. අද සාකච්ඡා මාර්ගයෙනුයි ප‍්‍රශ්න විසඳන්න වෙලා තියෙන්නේ" යැයි පැවසීය.


    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් හෙට්ටිආරච්චි, සීමාසහිත සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ ධීවර සමූපකාර සමිතියේ සම සභාපති ගරු ලෙස්ටර් ජෝශප් නෝනිස් පියතුමා, නිමල් කුරේරා, ලේකම් ස්ටැන්ලි පීරිස් මහත්වරු ද සහභාගි වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya