අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ සංවර්ධන වැඩපිළිවෙළ විවේචනය කරන්නන්ට ඌව පළාත් මැතිවරණයෙන් නිසි පිළිතුරක්

    සැප්තැම්බර් 15, 2014
    රජයේ සංවර්ධන වැඩපිළිවෙළ විවේචනය කරමින් ඌව පළාත් මැතිවරණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරවන විපක්ෂයට මෙවර මැතිවරණ ජයග්‍රහණය තුළින් නිසි පිළිතුරක් ලබාදීමට හැකි වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.

    මාර්ග, පාලම් ආදී සංවර්ධන කටයුතු විවේචනය කරන එම පාර්ශ්වයන් ජනතාවට පෙන්වා දීමට උත්සාහ කරන්නේ අප රජය සාර්ථක නොවන ගමන් මගක ගමන් ගන්නා බවයි. නමුත් රජයේ සංවර්ධන වැඩපිළිවෙළ නිසි ලෙස අවබෝධ කර ගත් ජනතාව මෙවර පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත සිය මනාපය පළ කොට රජයේ සංවර්ධන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දායකත්වය ලබාදෙන බව කීවේය.

     
    ඌව පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් බණ්ඩාරවෙල, මාතැටිල්ල ප්‍රදේශයේ ජන හමුවකට සහභාගි වූ අග්‍රාමාත්‍යතුමා පැවසුවේ, “රජයේ ඉදිරි ගමන් මග අවබෝධ කර ගැනීමට නොහැකි පිරිස් නිරන්තරයෙන් රජය විවේචනය කරනවා. ඔවුන් විවිධ මතවාද පතුරවමින් රජය කෙරෙහි ජනතා විශ්වාසය බිඳදැමීමට කටයුතු කරනවා.  නමුත් ජනතාව කියන්නේ අඥානවන්ත පිරිසක් නො වේ.  ඔවුන් නිරතුරුව ම බුද්ධිමත්ව ක්‍රියා කරන පිරිසක්. ඒ නිසා ජනතාව රැවටීමට ලක් කරන්න බැහැ. 

     පාලම් කන්නද? පාරවල් නිදා ගන්නද? යනුවෙන් ප්‍රශ්න කරන විවේචකයන් මෙරට සංවර්ධනය අඩාල කිරීමට උත්සාහ කළත්, සංවර්ධනයේ සැබෑ ප්‍රතිලාභ ජනතාව හොඳින් හඳුනනවා. ඒ නිසා ඔවුන්ට සෑම විට ම මෙවැනි රජයක් අවශ්‍යයි. යුද්ධය නිමා කොට කෙටි කාලයක් තුළ දී ඉහළ සංවර්ධනයක් ලබාගත් අප රජය චීනය, ජපානය, රුසියාව ඇතුළු රටවල් රැසක් සමඟ ගිවිසුම් අත්සන් කරමින් රට තවදුරටත් සංවර්ධනය කිරීමට උත්සාහ කරනවා. මෙම සංවර්ධනයේ ප්‍රතිඵල ලැබෙන්නේ රජයට මෙන් ම සාමාන්‍ය ජනතාවටයි.  ඒ අතර රජය විවේචනය කරන විපක්ෂයට පවා කිසිදු අයකර ගැනීමකින් තොර ව සංවර්ධනයේ ප්‍රතිඵල භුක්ති විඳිය හැකියි. සෞඛ්‍ය, අධ්‍යාපනය, මහාමාර්ග ආදී පහසුකම් රැසක් නොමිලයේ ලබාදෙන අප රට සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා නුදුරේදීම හැකියාව ලැබෙනවා.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා සඳහන් කර සිටින්නේ සීග්‍රයෙන් සංවර්ධනය වන රටක් බවට ශ්‍රී ලංකාව පත් ව ඇති බවයි. 

     මෙවර මැතිවරණය පක්ෂ අතර පවතින තරගයක් නො ව, ජාතික, ආගමික හා අන්තර්ජාතික දේශපාලන‍ය සම්බන්ධයෙන් පවතින ගැටලුවක්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ත්‍රස්තවාදයෙන් රට මුදාගත් බැවින්, ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වූවා යැයි පවසමින් මානව හිමිකම් සංවිධාන අප රටට විවේචන එල්ල කරනවා. ජනාධිපතිතුමා ඉටු කළ එම උදාර පරිත්‍යාගය සමස්ත ශ්‍රී ලාංකිකයින්ට ලබාදුන් දායාදයක් වශයෙන් හැඳින්විය හැකියි. මානව හිමිකම් සංවිධානවල චෝදනාවෙන් ජනාධිපතිතුමා මෙන් ම, රටට ‍හිතෛෂී දේශමාමකයින් මුදා ගැනීම අප සතු වගකීමක් සහ යුතුකමක් ද වෙනවා. ඒ නිසා මෙවර පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය ජයග්‍රහණය කරවීම තුළින් සමස්ත ශ්‍රී ලාංකිකයින්ට ජයග්‍රහණය කරන අවස්ථාවක් බවට පත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි” අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා තවදුරටත් පැවසීය. 
     
    මෙම අවස්ථාවට බණ්ඩාරවෙල උඩආරව ශ්‍රී විවේකාරාමාධිපති, බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභා උප සභාපති පූජ්‍ය ගල්ගොඩගම සෝභිත හිමි, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇතුළු මහජන නියෝජිතවරු ද, ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ. 
     
    ECB
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya