මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 සිට සබරගමුවේ වසර මැද ගුරුමාරු තහනම්

    අගෝස්තු 28, 2014
    ලබන ජනවාරි මුල පටන් සබරගමු පළාතේ අන්තර් පළාත් ගුරු මාරු සිදු කිරීම ගුරු මාරු මණ්ඩල නිර්දේශ මත පමණක් සිදු කිරීමටත් වසර මැද  සිදු කරන ගුරු මාරු වෙනුවට වසර අග හෝ වසර මුල පමණක් ගුරු මාරු සිදු කිරීම ඇතුළු පළාත් අධ්‍යාපනයට අදාළ තීන්දු තීරණ රැසකට එළඹෙමින් සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතා සහ ලංකා ගුරු සංගමයේ නියෝජිත පිරිසක් අතර ඊයේ (27) පැවති සාකච්ඡා සාර්ථකව නිමාවට පත්විය.
     
    ලංකා ගුරු සංගමයේ නියෝජිත පිරිසක් ඊයේ මහ ඇමති මහීපාල හේරත් මහතා මුණගැසුණු අතර එම අවස්ථාවට ගුරු සංගමය නියෝජනය කරමින් එහි ප්‍රධාන සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු නියෝජිතයින් 7දෙනෙකු එක්ව සිටියහ. 
     
    සබරගමු ප්‍රධාන ලේකම් එච්.පී. කුලරත්න, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහින්ද වීරසූරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක සේපාල කුරුප්පුආරච්චි යන මහත්වරු සබරගමු පළාත් සභාව නියෝජනය කරමින් එම සාකච්ඡාවට එක්වූහ.
     
    මෙහිදී ලංකා ගුරු සංගමයේ නියෝජිතයින් සඳහන් කළේ ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා පළාත් අධ්‍යාපන අමාත්‍ය ධූරය හොබවන අවධියේ ගුරු වෘත්තීය සංගම්වලට කන් දෙමින් පළාත් අධ්‍යාපනයට අදාළව ගුරුවරුන්ගේ ඉල්ලීම් හමුවේ නම්‍යශීලී පිළිවෙතක් අනුගමනය කළ බවය.
     
    මෙහිදී ඔවුන් පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම, පාසැල්වලට භෞතික සම්පත් ලබාදීමේදී මතුවන ගැටලු සහ ගුණාත්මක යෙදවුම්වලට අදාළ මුදල් යෙදවීම, වාර විභාග කටයුතු ක්‍රමවත් කිරීම, පාසල්වල අධ්‍යාපන කටයුතු අඩාල වන පරිදි සිසු දරුවන් වෙනත් බාහිර කටයුතුවලට යෙදවීමේ අයහපත, විවිධ ආකාරයෙන් සිසු දරුවන් ලවා මුදල් එකතු කිරීම, පාසල්වල විවිධ අවශ්‍යතා පවසමින් වරින් වර මුදල් එකතු කිරීම, වසර කිහිපයකින් ගුරුමාරු මණ්ඩල ක්‍රියාත්මක නොවීම විදුහල්පතිවරු පත්කිරීම, ආපදා ණය ඇතුළු ගැටලු කිහිපයක් කෙරෙහි ප්‍රධාන අමාත්‍යවරයාගේ අවධානය යොමු කළේ ය. 
     
    ඊට කන්දෙමින් මහ ඇමතිවරයා සඳහන් කළේ පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී අදාළ චක්‍රලේඛ තරයේ ක්‍රියාත්මක කිරීමටත් පන්ති කාමරයේ අනුමත ශිෂ්‍ය සංඛ්‍යාව ඉක්මවන අවස්ථාවල දරුවන්ගේ අධ්‍යාපනයටත් ගුරුවරුන්ගේ ඉගැන්වීමේ කටයුතුවලටත් පහසුවන පරිදි සමාන්තර පන්ති පැවැත්වීමට ව්‍යුහ කමිටුවේ අනුමැතියට යටත් ව කටයුතු කිරීමට පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් දෙන බවය.
     
    පළාත තුළ ගුරු මාරු සිදු කිරීමේදී මාරු මණ්ඩල හරහා සිදු කිරීමටත් සියලු ගුරු ස්ථාන මාරු වසර අග හෝ වසර මුල පමණක් සිදු කිරීමටත් මෙම සාකච්ඡාවේ දී තීරණයට එළැඹිණි.
     
    මෙහිදී ගුරු නියෝජිතයන් විසින් කරන ලද ඉල්ලීමක් අනුව වසරක් පාසා ආපදා ණය සඳහා වෙන් කරන මුදලින් 50%ක් ගුරු සේවය වෙනුවෙන් වෙන් කිරීම ද මෙහිදී මහ ඇමතිවරයා එම අවස්ථාවට සහභාගී වූ පළාත් ප්‍රධාන ලේකම් එච්.පී. කුලරත්න මහතාට නියෝග කළේ ය.
     
    පාසල්වල ගුණාත්මක යෙදවුම් සඳහා අවශ්‍ය මුදල් මෙවර සබරගමු පළාත් සභාවෙන් වෙන් කිරීමටත් වාර විභාග සඳහා භාවිත කිරීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න පත්‍ර බැංකුවක් පවත්වාගෙන යාමත් මෙහිදී එළැඹි තවත් තීරණයකි.
     
    පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී කුමන හේතුවක් නිසා හෝ මුදල් අය කර ගැනීම තහනම් පසුබිමක එම තහනම නොතකා කටයුතු කරන පුද්ගලයන් පිළිබඳ ව වහා තමන් දැනුවත් කරන්නැයි මෙහිදි මහ ඇමතිවරයා විවෘත ඉල්ලීමක් කළේය.
     
    අධ්‍යාපනයට අදාළ කටයුත්තකට හැර වෙනත් උත්සව සඳහා පාසල් ළමුන් යොදා ගැනීම සබරගමු පළාතේ අත්හිටුවනු ඇතැයි කී මහ ඇමතිවරයා සංස්කෘතික වශයෙන් හරවත් උත්සව, පෙරහර වැනි උත්සව අවශ්‍යතා සඳහා රාත්‍රී කාලයේ පාසැල් දැරියන් යෙදවීම සබරගමු පළාතේ මුළුමනින් ම තහනම් කර ඇතැයි ද තවදුරටත් සඳහන් කළේ ය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya