මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ගේ මානසික ආතතියට ගෙදර පරිසරය මෙන් ම මාධ්‍යයත් බලපෑම් කරනවා

    අගෝස්තු 28, 2014
    ළමයාට නිවස තුළ ළමා කාලයක් අවශ්‍ය බවත් පෙරපාසල තුළ ද ළමා කාලය දරුවාට රිසි අයුරින් ගත කරමින් අධ්‍යාපනය ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම අවශ්‍ය බවත් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පවසයි. 


    දෙමව්පියන් අතර පවතින ආරවුල්, බේබදුකම්, දෙමව්පියන් අතර තිබෙන නොගැළපීම්, අඬදබර කුඩා දරුවන් හොඳින් නිරීක්ෂණය කරන බවත් දරුවන් ඒ තුළින් සමාජය කියැවීමට පුරුදු වන්නේ යැයි ද ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යවරයා පැවසීය. දෙමව්පියන් අතර පවතින ආරවුල්, බේබදුකම් නිසා වන ආරවුල්, දෙමව්පියන් අතර තිබෙන නොගැළපීම් නිසා ඇතිවන සිදුවීම් මාධ්‍ය මඟින් රසකර වාර්තා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    රුපියල් ලක්ෂ විසිපහක වියදමින් ඉදිකිරීමට යෝජිත කටුගම්පොළ තලම්මැහැර ශ‍්‍රී සුනන්දාරාම පෙරපාසල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උළෙළේ දී අමාත්‍යතුමා මේ අදහස් පළ කළේය.
      

    විශේෂයෙන් ගෙදර ස්වාමියා සහ භාර්යාව අතර අඬදබර වැඩිනම්, ජීවත් වන පරිසරය තුළ ආරවුල් බහුල නම්, දෙදෙනා අතර එකමුතුකමක් නොමැති නම්, පියා බේබද්දෙක් නම් එවැනි පරිසරයක ජීවත්වන දරුවන්ගේ තත්ත්වය ඉතාමත් ඛේදජනකයි. මේ දරුවන්ගේ මනස හැදීම සඳහා ළදරු පාසල හෝ පාසල ඉදිරිපත් විය යුතුයි. එම ආයතන දෙකින් ද ඔවුන් ගිලිහුණහොත් සමාජය ඉතා නරක තත්ත්වයට පත් වන බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ නිසා ගුරුවරු මෙන්ම ළදරු පාසල් පාලිකාව සෑම දරුවකුගේම පෞද්ගලික තොරතුරු පවා දැනගැනීම අත්‍යවශ්‍ය වේ. මේ නිසා සෑම විට ම පාසලක පන්තියක් තුළ සිටිය යුතු ප‍්‍රමාණය දරුවන් 35ට අඩුවිය යුතුයි. ගුරු සිසු අනුපාතය 18ක් දක්වා අඩු කර තිබෙන බවත් ඔහු පෙන්වා දෙන ලදී. 

     

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය. "හොඳ සුදු ඇඳුමකින් සූදානම් වී සපත්තු දෙකක් පැළඳ නගරයේ පාසලට තම දරුවන් යැවීම සෑම දෙමව්පියකුගේ ම සිහිනයකි. ළමා කාලය හරි වැදගත් කාලපරිච්ඡේදයක්. එම කාලය තුළ දරුවා තුළ ගොඩනැගෙන පෞරුෂත්වය, ඔහුගේ අනාගතය තීරණය කරනු ඇත. රටේ අනාගතය ද තීරණය කරයි. මේ නිසා ළමා සංවර්ධනය වෙනුවෙන් අපගේ කාර්යභාරය නිසි ලෙස ඉටු කිරීමට වගබලා ගත යුතුයි.

     

    බිරිඳ සමඟ උරණ වූ විට දරුවන්ගෙන් පළිගන්නා සමාජයක් නිර්මාණය වීමටත් දෙමාපියන් තමාට අඩුවෙන් සලකන බවත් අනෙකාට වැඩිපුර සලකන බවත් සිතා අනෙකා ඝාතනය කරන සමාජයක් නිර්මාණය වීමටත් පූර්ව ළමාවිය සංවර්ධනය බලපායි. දෙවන ලෝක යුද්ධයට ජර්මනිය රැගෙන ගිය හිට්ලර්ගේ චරිතාපදානයට අනුව ඔහුගේ පියා දරදඬු පුද්ගලකු වන අතර සිය මව සහ පුංචි හිට්ලර්ව අමානුෂික වද බන්ධනවලට ලක් කර ඇත. ඒ නිසා හිට්ලර් ද දරදඬු පුද්ගලයකු වූ බව පෙන්වා දී තිබේ. අවසානයේ දී හිට්ලර් යුදෙව්වන් ලක්ෂ ගණනක් මරා දැමීමට කටයුතු කළා. ලොව පුරා ජනතාව විශාල පිරිසක් මිය ගියා. ජෝසප් ස්ටාලිං ද දරදඬු පුද්ගලයෙකු වුණේ පූර්ව ළමාවිය සුන්දර නො වූ බේබදු පියෙකුගෙන් ඉතා අමානුෂික ලෙස වද බන්ධනයට ලක් වූ ළමා කාලයක් ගත කළ නිසා බව දැක්වෙනවා. පුවත්පත් කියවීමේ දී පෙනෙන කාරණයක් තමයි ලංකාවේ සිර ගෙවල්වල සිටින අය ළමා කාලය ගත කර ඇත්තේ මේ ආකාරයේ පරිසරයක බව. පවුලේ පසුබිම දරුවාගේ මනසේ තැන්පත් වූ විට දරුවන් පාසල තුළ දී සමාජානුයෝනය කළ නොහැකියි. 


    මේ නිසා පූර්ව ආචාර්යවරයා වශයෙන් දෙමාපියන් ඒ සඳහා විශේෂයෙන් වගකිව යුතුයි. මේ නිසා තමාගේ දරුවා රටට වැඩදායක කෙනෙක් කරනවා ද? දඩබ්බරයෙකු කරනවා ද? කියා දෙමාපියන් තීරණය කළ යුතුයි. ඒ අනුව සිතා දෙමාපියන්ගේ හැසිරීය යුතු බවත්" අමාත්‍යතුමා තවදුරටත් පෙන්වා දුන්නේය.
      
    පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසක්කාර මහතා ඇතුළු පන්නල ප‍්‍රාදේශීය සභා නියෝජිතයන්, පන්නල ජාතික පාසලේ විදුහල්පතිතුමා සහ ප‍්‍රදේශවාසීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya