අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවේ නියඟයෙන් පීඩිත ජනතාවට සහන සැලසීමට විධිමත් ක්‍රියාමාර්ග

    අගෝස්තු 12, 2014

    පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති නියං තත්ත්වය සඳහා සහන සැලසීමේදී ජනතාවට අවශ්‍ය පානීය ජලය සැපයීමට පියවර ගන්නා සේම වන සතුන් සඳහාද අවශ්‍ය ජලය ලබා දීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

     

    අද පෙරවරුවේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

     

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ එක් එක් අංශවල පවතින ගැටලු පිළිබඳ විමසා බලන ලද අතර එම ගැටලු නිරාකරණය කිරීමටද කටයුතු කරන බවය. පවතින ගැටලු නිර්භයව ඉදිරිපත් කරන ලෙස අදාළ ආයතනවලට උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා පැවසුවේ හැකි සෑම විටම ජනතාවට අවශ්‍ය පිරිසිදු පානීය ජලය සැපයීම විධිමත්ව කිරීමට සියලුම ආයතනවල සහය ලබා දෙන ලෙසය.


    මේ අවස්ථවේදී පීඩාවට පත්ව ඇති ජනතාවට පානීය ජලය සැපයීමට දක්වන අනුග්‍රහය හා සමානව වනාන්තර ගිනි නොතබා ආරක්ෂා කරගැනීමටත් වන සතුන්ගේ පානීය ජල අවශ්‍යතා සැපිරීමට කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවලට විශේෂ උපදෙස් ලබා දෙන ලදී.
     

    මෙහිදී අදහස් දැක්වූ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා ප්‍රකාශ කළේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 173ක පවුල් 54,828කට අයත් පුද්ගලයන් 183,141 දෙනෙකු මෙම නියං තත්ත්වය මත පීඩාවට පත්ව ඇති බවයි. මින් ග්‍රාම නිලධාරී වසම් 133ක පවුල් 29,987කට අයත් පුද්ගලයින් 112,192කට පානීය ජලය සැපයිය යුතු තත්වයේ පවතින බවත් ඔවුන්ට අවශ්‍ය පානීය ජලය රජයේ පූර්ණ මැදිහත්වීම මත බෙදාහැරෙන බවත්ය.


    මුලින් පැවති බොහොමයක් බාධක මේ වන විට මඟහරවා ගෙන ජනතාවට අවශ්‍ය පානීය ජලය හැකි උපරිම ලෙස බෙදාහැරීමට අවශ්‍ය කටයුතු කෙරෙන බවත් දිනකට පානීය ජලය ලීටර් ලක්ෂ 5ක් පමණ ජනතාව අතර බෙදා හැරෙන බවත්ය.
     

    මෙයට අමතරව ජනතාවට කඩිනම් සහන සැලසීම යටතේ ‘වැඩ සඳහා මුදල්‘ ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 100ක මුදල් ජනතාව අතට පත්කිරීමට කටයුතු කෙරෙන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

     

    මෙම අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත්සභා හා ප්‍රාදේශීය සභා ජනතා නියෝජිතයන් රැසක් සහ දිස්ත්‍රික්කයේ ආයතන ප්‍රධානීහු රැසක් එක් වූහ.
     

    SDF/WK_dmu_Polonnaruva

    niyagaya2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya