අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලේ ඉදිවන ග්‍රාමීය පාලම් 10න් ලක්ෂ 03කට සෙත

    අගෝස්තු 12, 2014
    දිවයින පුරා ගමත් නගරයත් යා කරමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් රට පුරා ක්‍රියාත්මක කරන ග්‍රාමීය පාලම් 1210 ප්‍රථම අදියර යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඉදිකරන පාලම් 10න් පාලම් ගණනාවක කටයුතු මේ වන විටත් නිමාවට පත්වෙමින් තිබේ.
     
    බදුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 09කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉදිවන මෙම ග්‍රාමීය පාලම් 10 මඟින් දිස්ත්‍රික්කයේ ලක්ෂ 03කට ආසන්න ජනතාවගේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමට සෙත සැලසෙන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ දිසානායක මහතා ප්‍රකාශ කළේය. 
     
    ග්‍රාම සේවා වසම් 567කට අයත් පවුල් 239,463කින් සමන්විත බදුල්ල දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය 811,758කි. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති ගම්මාන සංඛ්‍යාව 1,991ක් වන අතර දිස්ත්‍රික්කයේ සිටින දිවි නැගුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 59,273කි.
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" යටතේ "මග නැගුමෙන් - ගම නැගුමට" වැඩසටහන මගින් ගම් දොරට දියුණුවේ රන් දොරටු විවර කරමින් ගමත් නගරයත් එක්කරමින් රට පුරා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් දිවයින පුරා මෙම ග්‍රාමීය පාලම් වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. මෙම පාලම් ආරුක්කුවලින් තොරව යකඩින් ඉදිකර ඇත්තේ කාලගුණික සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන අන්දමිනි. මෙහි ප්‍රථම අදියර යටතේ ඉදිවන පාලම් 210ට අමතරව දෙවන අදියර යටතේ ද ලබන වසර තුළදී පාලම් 1000ක් ඉදිකර ජනතා අයිතියට පැවරේ.
     
    ශ්‍රී ලංකාව ජනගහණයෙන් සියයට 75ක් ජීවත්වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල බැවින් එම ජනතාවගේ ආර්ථිකය සහ සංවර්ධනය ගොඩනඟන මෙම ග්‍රාමීය පාලම් ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන යෑමට බෙහෙවින් ඉවහල් වනු ඇතැයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉකුත්දා පැවසීය. මග නැගුම වැඩසටහනින් පාරවල් වැඩිදියුණු කිරීමෙන් පසු ජනතාවගේ ආදායම් තත්ත්වය වැඩිදියුණු වී ඵලදායිතාව ඉහළ තත්ත්වයකට පිවිසුණු බවද ග්‍රාමීය පාලම් ඉදිකිරීමෙන් වැවිලි සහ කෘෂි ආර්ථිකය දියුණු වී රටට විශාල ආර්ථික ප්‍රතිලාභයක් අත්කරමින් විශාල සංවර්ධනයක් සිදුවන බව ද ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩ නිමකර ඇති පාලම් අතර හපුතලේ කහගොල්ල, කහටවැව, රංජනාවල, හල්දුම්මුල්ලේ කළුපහන, වැලිමඩ විදුරුපොළ, කොලොන්ගස්තැන්න වේ. සෙසු සියලු පාලම්වල ඉදිකිරීම් ලබන සැප්තැම්බර් මස වන විට සම්පූර්ණයෙන්ම නිම කිරිමට කටයුතු යොදවා ඇතැයි ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරු විතාන සෙනවිරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මෙම පාලම් 10 ඉදිකිරීම් මගින් දහස් සංඛ්‍යාතික පාසැල් සිසුන්ට ද, කෘෂි නිෂ්පාදකයන් ඇතුළු භෝග ගොවීන්ට ද, කුඩා තේවතු හිමියන්ට ද ඍජු ආර්ථික ප්‍රතිලාභ හිමිවනු ඇත.  
     
    මෙම ග්‍රාමීය පාලම් බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුකරනුයේ අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, හිටපු මහ ඇමති ශ‍ෂීන්ද්‍ර රාජපක්ෂ,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාමික බුද්ධදාස, උදිත ලොකුබණ්ඩාර, රෝහණ පුෂ්පකුමාර, තේනුක විදානගමගේ යන මහත්වරුන් සහ බදුල්ල  දිස්ත්‍රික් ලේකම් රෝහණ දිසානායක යන මහත්වරුන්ගේ මග පෙන්වීම යටතේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya