අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයුර්වේදය ප්‍රමුඛ ස්වස්ථතා සංචරණය අපනයන සේවාවක් ලෙස නඟා සිටුවීමට අපනයන සංවර්ධන මණ්ඩලයේ දායකත්වය

    දෙසැම්බර් 13, 2019

    ආයුර්වේදය ප්‍රමුඛ ස්වස්ථතා සංචරණය අපනයන සේවාවක් ලෙස නඟා සිටුවීමට අපනයන සංවර්ධන මණ්ඩලයේ දායකත්වය ලබාදෙයි.

     

    අපනයන සේවාවක් නැතහොත් සුව සංචරණ සේවාවක් ලෙස ආයුර්වේදය සහ බටහිර වෛද්‍ය සේවාව හඳුනා ගන්නා ලද්දේ 2013 වසරේ අපනයන සංවර්ධන මණ්ඩලයේ සහයෝගයෙන් ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) දියත් කරන ලද අධ්‍යයනයක් මගිනි.

    ආයුර්වේදය හා දේශීය වෛද්‍ය සේවය සපයන සංචාරක නිකේතනවල සිදු කරන ලද සංචාරයන් තුළින් දේශීය වෙදකමෙහි වටිනාකම සහ බෝනොවන රෝග සුව කිරීමෙහි ඇති ඉහළ හැකියාව අනාවරණය වූ අතර මෙම
    ක්ෂේත්‍රය දියුණු කිරිම සහ බටහිර සුව සංචරණයට සහසම්බන්ධ කිරීමෙන් ඉහළ විදේශ විනිමයක් රටට ගෙන ඒමට හැකි ආකාරය දත්ත සහිතව පෙන්වා දෙන ලදී. මෙම අගය සාමාන්‍ය සංචාරකයෙකුගේ ලබන ආදායමට වඩා කිහිප ගුණයකින් ඉහළ අගයක් වන අතර දේශීය වෛද්‍ය සේවාවට වෘත්තීමය අගයක් සමඟ ඉහළ වටිනාකමක් ලබා දෙන කර්මාන්තයක් ලෙස හඳුනා ගන්නා ලදී.

    මෙම ක්ෂේත්‍රය නියෝජනය කිරීමට කමිටුවක් තෝරා පත් කර ගත් අතර ඒ සඳහා ප්‍රමුඛ පෙළේ ආයුර්වේද සංචාරක හෝටල්, සංචාරක මණ්ඩලයේ, ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික රෝහලවල උද්යෝගවත් සහභාගීත්වය සිදු විය.

    මෙහිදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ආයුර්වේදය සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ශක්‍යතාවය ප්‍රචලිත කරනු වස් නිවේදන පත්‍රිකාවක් පළ කරන ලදී. එම පත්‍රිකාව රටවල් ගණනාවක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් හරහා ප්‍රචාරණයට කටයුතු සලසන ලදී. එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ සමුළුවට සමගාමීව පවත්වන ලද වෙළඳ ප්‍රදර්ශනයේ ආකර්ශනීය අංශයක් බවට ආයුරේවේද අංශය පත් විය. අපනයන සංවර්ධන මණ්ඩල වෙබ් අඩවියේද අනෙක් ප්‍රමුඛ අපනයන භාණ්ඩ හා සමාන ප්‍රමුඛත්වයක් ආයුර්වේද සුව සේවාවට ලබා දීමටද කටයුතු කරන ලදී. එමෙන්ම ජනාධිපති අපනයන සම්මාන උළෙලේ ප්‍රමුඛ ක්ෂේත්‍ර අතරටද ස්වස්ථා සේවා පත් කිරීමටද අපට හැකි විය.

     

     

    දේශීය වෙදකමෙහි අගය සහ සුව සංචාරක කර්මාන්තය තෙක් විකාශනය විහිදා දැක්වීමට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්‍රව්‍ය දෘශ්‍ය පටයක් නිර්මාණය කරන ලදී. (Healers Paradise – Sri Lankan Ayurveda). Web Link - ( https://www.youtube.com/watch?v=sEJDsvnPEuw ). එය ලොවපුරා ප්‍රචලිත කිරීමට අප මණ්ඩලය විසින් කටයුතු කරන ලදී. බෝ නොවන රෝග පාලනයට අපේ දේශීය වෙදකමෙන් දෙන විසඳුම් සහ යුරෝපා රටවල මෙම වෛද්‍ය ක්ෂේත්‍රයට ඇති ඉල්ලුම පිළිබඳ මනා අවබෝධයක් එමගින් ලබා දෙන ලදී. එමගින් රටට ස්වස්ථතා සංචාරකයින් ගෙන්වා ගැනීම අපගේ මූලික අරමුණ විය.

    මෙම ක්ෂේත්‍රයට අදාලව ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රමිතිගතකරණයට ඇති වැදගත්කම අවධාරණය කරන ලද අතර, අපනයන සංවර්ධන මණඩලය ඒ සඳහා ජාත්‍යන්තර නමක් දරා ඇති MTQUA ආයතනය සමඟ සම්බන්ධ වී වැඩමුළුවක් 2016 දී පැවැත්වීය.

     

    මෙම අඛණ්ඩ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස එය ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍රයක් ලෙස සලකන්නට යෙදුනු අතර ජාතික අපනයන ප්‍රතිපත්තිය (NES) යටතේ හඳුනාගත් අපනයන ක්ෂේත්‍ර 6 අතරට පැමිණීමට හැකි වීම තුළින්ම එහි අගය
    පිළිබිඹු වේ. ස්වස්ථතා සංචරණය යන පුළුල් ක්ෂේත්‍රය තුල ප්‍රමුඛව ආයුර්වේදය, බටහිර වෛද්‍ය සේවාව ඇතුළුව විකල්ප වෛද්‍ය ක්‍රම, ස්වභාවික වෛද්‍ය ක්‍රම, භාවනා ක්‍රම, යෝග අභ්‍යාස ආදී වෛද්‍ය සහ ස්වස්ථතා සේවා ඇතුලත් වේ. ස්වස්ථතා සංචරණ ප්‍රතිපත්ති තුළ එහි වැඩි දියුණුව පිණිස ඇති කර ගත් ක්‍රියා මාර්ග ගණනාවක් ඇත. මෙම ප්‍රතිපත්තිය එළිදැක්වීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, සංචාරක මණ්ඩලය, පෞද්ගලික අංශ නියෝජනය කරන විද්වතුන් ගණනාවක් සහභාගි විය.

    එමෙන්ම එම විද්වතුන්ගෙන් සමන්විත උපදේශන කමිටුවක්ද අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පත් කර ගත් අතර සියලු ක්‍රියාකාරකම් එම උපදේශන කමිටුවේ අනුමැතිය සහ යෝජනා අනුව සිදු කිරීමට කටයුතු කර ඇත.

     

    ජාත්‍යන්තර ස්වස්ථතා සහ සුව සේවා සම්මන්ත්‍රණවල ප්‍රමුඛ පෙළේ දේශකයෙකු වන ආචාර්ය ෆ්‍රාන්ස් ලින්සර් මහතාගේ (Dr. Franz Linser) ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කරන ලදී. ඒ මහතා 2018 පෙබරවාරි මස දේශීය සම්මන්ත්‍රණයක් අපනයන සංවර්ධන මණ්ඩලයේ පවත්වන ලද අතර යුරෝපා මහද්වීපයේ ප්‍රමුඛ රටවල ස්වස්ථා සේවා සහ ආයුර්වේදය සඳහා ඇති ඉල්ලුමත්, ස්වස්ථතා සංචාරකයින්ගේ නව ප්‍රවණතාවයන් සහ ශ්‍රී ලංකාව ඒ සඳහා සූදානම් විය යුත්තේ කෙසේද යන්න සාකච්ඡාවට භාජනය විය. එම සංචාරය අතරතුර එම මහතා ලංකාවේ ප්‍රමුඛ ආයුර්වේද සංචාරක නිකේතන ගණනාවකට ගෙන ගොස් ඔහුගේ ප්‍රවීණතාව උපයෝගී කොට ගෙන එම ආයතනයන්හි සිදු කළ යුතු නවීකරණයන් පිළිබඳ උපදේශනයන්ද ලබා ගන්නා ලදී. ආචාර්ය ලින්සර් මහතාගේ “ලින්සර් හොස්පිටැලිටි - Linser Hospitality” ආයතනය ලොව පුරා ස්වස්ථතා සංචරන
    ආයතනවල අලෙවිකරණය ඇතුළු උපාය මාර්ග සංවර්ධනය සිදු කරන ප්‍රමුඛ පෙළේ සමාගමකි. අපනයන සංවර්ධන මණ්ඩලයේ මැදිහත්වීමෙන් ඕස්ට්‍රේලියානු රජයේ සහ යුරෝපා සංගමයේ මූල්‍ය ප්‍රතිපාදන මත ශ්‍රී ලංකා ස්වස්ථතා සහ ආයුර්වේද සුව සේවාව අන්තර්ජාතිකව සන්නාමගත කිරීමත්, එය ප්‍රචාරණය සිදු කිරීමත් පිළිබඳව අධ්‍යයනයක් සිදු වෙමින් පවතී. යුරෝපා සංගමය මේ සඳහා රු. මිලියන 27 ක් යොදවා ඇති අතර 2020 වන විට මෙය ජාතික සන්නාමයක් ලෙස එළි දැක්වීමට කටයුතු යොදා ඇත.

     

     තවද මහා බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ සුවතා සංචාරක ආයතනයක් වන Wellbeing Escape ආයතනයේ නිර්මාතෘ හා කළමනාකරණ අධ්‍යක්ෂිකා ස්ටෙලා පෝති (Ms. Stella Poti) මහත්මිය මෙරටට ගෙන්වීමට අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු යොදන ලදී. ඇය විසින් 2018 වසරේදී කරන ලද අධ්‍යයනයේදී ශ්‍රී ලංකාවේ ශක්තීන් සහ දුර්වලතා ක්ෂේත්‍රයට ඉදිරිපත් කළ අතර ඇයගේ මග පෙන්වීම සහ සම්බන්ධතා යටතේ ශ්‍රී ලංකාවේ ආයුර්වේද ප්‍රමුඛ ස්වස්ථතා සංචරණය මහා බ්‍රිතාන්‍යයේ ප්‍රචලිත කිරීමට කටයුතු යොදවා ඇත. අප රටේ මෙම වටිනා සේවාව ජාත්‍යන්තරයට ගෙන යෑමට අපනයන සංවර්ධන මණ්ඩලයේ වෑයමට මේවා නිදසුන්ය.

    ඉන් එක් අඩිතාලමක් ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ලංකාවේ ප්‍රමුඛ ආයුර්වේද සංචරණ ආයතන 6 ක් 2019 නොවැම්බර් මස ලන්ඩන්හි පැවති WTM ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයට ගෙන යෑමට කටයුතු යොදන ලදී. මේ සඳහා රු. මිලියන 6 ක් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වැය කරන ලද අතර ආයුර්වේදය ප්‍රචලිත කිරීමට විශේෂිත ප්‍රදර්ශන කලාපයක් වෙන් කර ගැනීමට මෙමගින් හැකි විය. එමෙන්ම විශේෂිත ව්‍යාපාරික හමු 50 - 70 ක් පමණ ප්‍රමාණය සිදු කළ අතර සහභාගී වූ ආයතන එම ප්‍රයත්නය ඉතා ඉහළින් පැසසුමට ලක් කළේ මෙය පළමු වතාවට ක්ෂේත්‍රයක් ලෙස හෙළ වෙදකම සහ ආශ්‍රීත කර්මාන්ත පිළිබඳ පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යෑමට හැකි වූ නිසාය. මෙම වෙළඳ කුටියේ තේමාව - Healers Paradise (සුවපත් කරන්නන්ගේ පාරාදීසය) වන අතර කාය, මන, ආත්ම (Mind, Body, Soul) ත්‍රිත්වයම සුවපත් කිරීම යන සංකල්පය විදහා දැක්විණි.

    තවද, අපනයන සංවර්ධන මණ්ඩලයේ මැදිහත් වීමෙන් චීනය, මැද පෙරදිග යන රටවලද පැවති වෙළඳ ප්‍රදර්ශනවලට ආයුර්වේද සේවා ආයතන සහභාගී කරවන ලදී.
    අපනයන සංවර්ධන මණ්ඩලයේ නිල වෙබ් අඩවියේ මෙම ක්ෂේත්‍රයට ප්‍රමුඛ වෙබ් පිටුවක් නිර්මාණය කර ඇති අතර එහි ආයුර්වේද සේවාවන් සපයන අතර නොමිලයේ ලියාපදිංචියට සැලසීමෙන් ලොව පුරා ප්‍රචාරණයට පහසුකම් සලසා ඇත. (Web Link - http://www.srilankabusiness.com/export-services/health-services/health-services-related-links.html)

    පෞද්ගලික ආයුර්වේද ආරෝග්‍යශාලා ලියාපදිංචි කිරීම, විද්මත් කිරීම, අධීක්ෂණය සහ නියාමන කටයුතු සඳහා වූ නියෝග කෙටුම්පත සැකසීම. අපනයන සංවර්ධන මණ්ඩලයේ ස්වස්ථතා සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන්
    ක්‍රියාකරන උපදේශන කමිටුවෙහි මග පෙන්වීම පරිදි ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් 1961 අංක 31 දරණ ආයුර්වේද පනතේ 10 වන වගන්තිය බලාත්මක කිරීම සඳහා මෙම නියාමයන් සකස් කර ඇත. මෙමගින් පෞද්ගලික ආයුර්වේද ආරෝග්‍යශාලා ලියාපදිංචිය, විධිමත් කිරීම, අධීක්ෂණය සහ පරීක්ෂා කිරීම ඇතුළු නියාමනයන් සඳහා විධිවිධාන සැලස්වීමට හැකියාව ලැබෙනු ඇත.

    මෙම නියාමනයන් සකස් කිරීම ඉතාම කාලෝචිත අවශ්‍යතාවයක් බවට පත්ව ඇති අතර එම ක්‍රියාවලිය වසර ගණනාවක් මුළුල්ලේ ප්‍රමාද වෙමින් පැවති කරුණක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ උපදේශන කමිටුව මගින් හඳුනා
    ගැනීමෙන් අනතරු අදාල ආයතන සමඟ ඒකාබද්ධව ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් මෙම ක්‍රියාවලිය සඳහා දැනට කෙටුම්පතක් සකස් කර ඇති අතර එය සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි සුවිශේෂ උපදේශන කමිටුවක් හමුවේ තවදුරටත් විමර්ශනය සඳහා යොමු කොට ඇත. මෙම ක්‍රියාවලිය ලබන වසර මැද පමණ වන විට ගැසට් පත්‍රයක් මගින් නීති ගත කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවට හැකියාව ලැබෙනු ඇත.

    එමගින් මහජනතාවට වෛද්‍ය ප්‍රතිකාර නිසි ප්‍රමිතියකින් යුතුව ආරක්ෂිතවත්, කාර්යක්ෂමත් පෞද්ගලික ආයුර්වේද ආරෝග්‍යශාලා හරහා ලබා දීමට සහතික කිරීමත්, ජනතාවගේ සෞඛ්‍ය නැංවීම සහ දේශීය හෙළ වෙදකම ප්‍රමිතිගත කිරීමටත්, දේශීය විදේශීය සේවා දායකයන් තුළ විශ්වාසනීය බව තහවුරු කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.

    මෙම සියලු ක්‍රියාකාරකම් ඔස්සේ අප රටෙහි නිපුනතාව ජාත්‍යන්තරයට ගෙන යෑමටත් එමගින් ඉහළ විදේශ විනිමයක් උපයා ගැනීමටත් අපනයන සංවර්ධන මණ්ඩලය නිරන්තරයෙන් ක්‍රියා කරන අතර එය කඩිනම්ව සිදු කර ගැනීමට සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල සහයෝගය හා මඟ පෙන්වීම පිටුවහලක් වනු ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya