මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වාසය නිසා වඩා හොඳ රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදීමට හැකි ව තිබෙනවා

    ඔක්තෝබර් 23, 2014
    වත්මන් රජය රාජ්‍ය අංශය කෙරෙහි දැක් වු දැඩි විශ්වාසය හා ලෙංගතුකම නිසා ජනතාවට වඩා හොඳ රාජ්‍ය සේවයක් ලබාදීමට හැකි ව තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
     
    රාජ්‍ය අංශය තුළින් පෞද්ගලික අංශයට වඩා හොඳ සේවාවක් ජනතාවට ලබාදිය හැකිය යන්න රජයේ සැමදා විශ්වාසය බවද ජනාධිපතිතුමා පැවසීය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරු පැදි ප්‍රදානය කිරීමට ඊයේ (22) පස්වරුවේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයකට එක්වෙමිනි. 
     
    ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබාදීම සෑම රාජ්‍ය නිලධාරියෙකුගේ ම වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එසේ කළ නොහැකි නම් රාජ්‍ය සේවාව ශක්තිමත් කිරීමෙන් ඵලක් නොමැති බවද කියා සිටියේය.
     
    යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රාජ්‍ය සේවාවක් කප්පාදු කරන්නට එදා පැවැති රජය පියවරගත් ආකාරය අද ඇතැම් රාජ්‍ය සේවකයන්ට අමතක වී ඇති බවද මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිතුමා 2001 -2004 පැවැති එම එජාපයේ ප්‍රතිපත්තිය වුයේ රාජ්‍ය අංශයේ සියලු වගකීම් පෞද්ගලික අංශයට පවරාදීම බවත් ඒ තුළින් රජයේ වගකීම් අඩු කරගත හැකිය යන්න ඔවුන්ගේ විශ්වාසය බවත් පැවසීය. 
     
    ඒ වන විට ලක්ෂ 07ක් ව පැවැති රාජ්‍ය සේවය ලක්ෂ 03ක් දක්වා අඩු කිරීමට ඔවුන් යෝජනා කර තිබුණු අතර වර්තමාන රජය යටතේ එම ප්‍රමාණය ලක්ෂ 15 දක්වා ඉහළ දමා තිබෙන බවද පෙන්වා දුන්නේය.
     
    කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදීමේ අරමුණින් රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරු පැදි ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන් 6431කට යතුරු පැදි ප්‍රදානය කෙරේ. එය සංකේතවත් කරමින් යතුරු පැදි ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    2014 අය-වැය යෝජනා අනුව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇති අතර මේ වන විට දිස්ත්‍රික්ක රැසක ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරු පැදි ප්‍රදානය කිරීමට රජය කටයුතු කර ඇත. ග්‍රාම සේවා, පවුල් සෞඛ්‍ය, සංවර්ධන, සමෘද්ධි, කෘෂි පර්යේෂණ, ග්‍රාම සංවර්ධන, සමාජ සේවා හා ක්‍රීඩා නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් වෙත මෙම යතුරු පැදි බෙදාදීම සිදු වෙයි.
     
    ජ්‍යේෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ, අමාත්‍ය ගුණරත්න වීරකෝන්, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මනුෂ නානායක්කාර, රමේෂ් පතිරණ, දකුණු පළාත් ආණ්ඩුකාර කුමාර බාලසූරිය, ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම 
    අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB
     
    HE GALLE BIKE 1 2
     
     
    HE GALLE BIKE 1 3
     
    HE GALLE BIKE
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya