මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිලානෝ හි ශ‍්‍රී ලංකා ප‍්‍රජාවගෙන් ජනපතිට මහත් හරසර

    ඔක්තෝබර් 05, 2014

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සිය ඉතාලි හා වතිකාන චාරිකාවේ අවසාන දිනය වූ ඊයේ (04) දින මිලානෝ හි වෙසෙන ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව හමු විය.

     

    මිලිනෝ හි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ශාඛාව විසින් සංවිධාන කරන ලද මේ හමුව පැවැත්වුණේ ඇලෙක්සැන්ඩි‍්‍රයෝ මන්සෝනි ප‍්‍රදේශයේ පිහිටි සුවිසල් ශාලාවක දී ය.

     

    පක්‍ෂ බේදයකින් තොර ව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මේ හමුවට පැමිණ සිටි සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගෙන් ශාලාව පිරී පැවති අතර, එයට බෞද්ධ භික්‍ෂූන් වහන්සේ මෙන් ම කතෝලික පූජකවරු ද සහභාගී වී සිටියහ.

     

    Sri Lankan community in Milan welcomes President 1පැමිණ සිටි පිරිසගේ උණුසුම් ඔල්වරසන් මැද ශාලාවට පිවිසි ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා පස් වසරකට පෙර ත‍්‍රස්තවාදය නිම කිරීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකාව මේ වන විට අත් කර ගෙන ඇති ප‍්‍රගතිය පිළිබඳව විස්තර කළේය. දැන් රට තුළ පවතින සාමය හා ස්ථාවරත්වය හේතුවෙන් ශ‍්‍රී ලංකාව මේ වන විට දැවැන්ත ජයග‍්‍රහණ රැසක් අත් කර ගෙන ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා, තමා ප‍්‍රමුඛ රජය සටන් කළේ ත‍්‍රස්තවාදයට එරෙහිව මිස දෙමළ ජනතාවට එරෙහි ව නොවන බව අවධාරණය කළේය.

     

    තමා මව්බිමට ගොස් දින කිහිපයකින් යාල් දේවී දුම්රිය, වසර ගණනාවකට පසු යාපනය බලා ප‍්‍රථම වතාවට ගමන් ආරම්භ කරන බව ද පැමිණ සිටි පිරිසගේ ප‍්‍රීතිඝෝෂා මධ්‍යයේ ජනාධිපතිතුමා සඳහන් කළේය.

     

    ශ‍්‍රී ලංකාව මේ වන විට දැවැන්ත නගර සංවර්ධන ක‍්‍රියාවලියක නිරතව සිටින බවත්, 2016 වන විට කොළඹ වෙසෙන සියලූ පැල්පත්වාසී ජනතාවට පහසුකම් සහිත නිවාස සමගින් වඩාත් යහපත් වටපිටාවක දිවි ගෙවීමට වරම් හිමි වන බවත් එතුමා කීය.


    මෙලෙස ජයග‍්‍රහණ රැසක් අත් කර ගෙන සිටින ශ‍්‍රී ලංකාවට මානව හිමිකම් ආයුධයක් ලෙස යොදා ගනිමින් අනවශ්‍ය හා අසාධාරණ පීඩනයක් එල්ල කිරීමට ඇතැමුන් උත්සාහ දරන නමුත් ඒවාට යටත්වීමට ශී‍්‍ර ලංකාව සූදානම් නොමැති බව සඳහන් කළ ජනාධිපතිතුමා, ජාතික සංහිඳියාව සඳහා දේශීය යාන්ත‍්‍රණයක් දැනටමත් සාර්ථක ව ක‍්‍රියාත්මක වන බව ද පැවසීය.

     

    ඉතාලිය ඇතුළු විදේශයන්හි වෙසෙන ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවා විසඳීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම තම රජය මේ වන විට ආරම්භ කර ඇති බව ද රාජපක්‍ෂ මැතිතුමා කීය. ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීමට අදාළ විධිමත් වැඩපිළිවෙළක් මේ වන විට සකස් කෙරෙමින් පවතින අතර, එය ලබන ජනවාරියේ සිට ක‍්‍රියාවට නැංවීමට රජය බලාපොරොත්තු වන බව ද එතුමා සඳහන් කළේය. ඉතාලියේ මහජන බැංකු ශාඛාවක් ආරම්භ කිරීමට ද, විදෙස්ගත ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවට බදු සහන සහිත වාහන මිලදී ගැනීමට පහසුකම් සැලසීමට ද කඩිනමින් පියවර ගැනෙනු ඇති බව කී ජනාධිපතිතුමා, විදේශයන්හි සේවය කිරීමෙන් අනතුරු ව ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයන්ට හිමිවන විශ‍්‍රාම වැටුප සිය රට රැගෙන ඒමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම කෙරෙහි ද තම රජය අවධානය යොමු කර ඇති බව ප‍්‍රකාශ කළේය.

     

    මිලානෝ හි ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් ළඟදීම විවෘත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ දැනටමත් දියත් කර ඇති බව ද රාජපක්‍ෂ මැතිතුමා පැමිණ සිටි පිරිස අමතමින් සඳහන් කළේය.

     

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ, ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ සහ ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් යන මහත්වරු හමුවට එක් ව සිටියහ.

     

    මිලානෝ හි පැවති හමුවට පෙර රෝමයේ කැවලියරි (Cavalieri) හෝටලයේ දී ජනාධිපතිතුමා දකුණු ඉතාලියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ශාඛා නියෝජිතයන් හමු වූ අතර, එහිදී ඔවුහු ජනාධිපතිතුමාගේ ඉදිරි ගමනට සිය පූර්ණ සහයෝගය පළ කර සිටියහ.


    HC/NP/IMU_Pix by: Sudath Silva

     

    Sri Lankan community in Milan welcomes President 2

     

    Sri Lankan community in Milan welcomes President 5

     

    Sri Lankan community in Milan welcomes President

     

    Sri Lankan community in Milan welcomes President 7

     

    Sri Lankan community in Milan welcomes President 3

     

    Sri Lankan community in Milan welcomes President 4

     

    Sri Lankan community in Milan welcomes President 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya