අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතාලි චාරිකාව නිමවා ජනපති යළි දිවයිනට

    ඔක්තෝබර් 05, 2014

    ඉතාලියේ හා වතිකානයේ සාර්ථක තෙදින චාරිකාව නිම කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අද (05) පෙරවරුවේ යළි දිවයිනට ළඟා විය. ජනාධිපති ආර්යා ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්‍ෂ මැතිනිය ද චාරිකාවට එක් ව සිටියා ය.


    ශුද්ධාසනයේ ආරාධනයෙන් වතිකානය බලා පිටත් වූ ජනාධිපතිතුමා පසුගිය සිකුරාදා (03) ශුද්ධෝත්තම පළමු වැනි ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදුටුවේ ය. ලබන ජනවාරියට සැලසුම් කර ඇති පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා චාරිකාව සඳහා නිල ඇරයුම උන් වහන්සේට පිළිගැන්වීම මේ හමුවේ දී සිදු විය.

     

    පාප් වහන්සේ සමග පැවති සාකච්ඡාවේ දී ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකාව අත් කර ගෙන ඇති ප‍්‍රගතිය පිළිබඳව ජනාධිපතිතුමා විස්තර කළේය. ශ‍්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය විස්තර කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට ස්තූතිය පළ කළ පාප් වහන්සේ, ශ‍්‍රී ලංකාවේ චාරිකා කිරීමට මහත් ඕනෑකමකින් පසුවන බව ද සඳහන් කළහ.

     

    පාප් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව රාජපක්‍ෂ මැතිතුමා ශුද්ධාසනයේ රාජ්‍ය ලේකම් සහ අගමැති අතිඋතුම් පියෙත්ත්‍රෝ පැරොලින් කාදිනල්තුමා ද හමු විය.

     

    සිය චාරිකාව අතරතුර දී ජනාධිපතිතුමා රෝමයේ හා මිලානෝ හි වෙසෙන ශ‍්‍රී ලාංකීය ප‍්‍රජාව මෙන්ම, එක්සත් රාජධානිය, ප‍්‍රංශය, ජර්මනිය, නෝර්වේ, ස්විට්සර්ලන්තය වැනි යුරෝපා සංගමයට අයත් රටවල වෙසෙන ශ‍්‍රී ලාංකිකයෝ ද හමු විය.

     

    ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යුරෝපා සංගම් ශාඛාවේ නිල වෙබ් අඩවිය ද දියත් කළ අතර, දකුණු ඉතාලියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ශාඛාවේ සාමාජිකයන් ද හමු වී සාකච්ඡා පැවැත්වීය.

     

    අග විනිසුරු මොහාන් පීරිස්, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය දයාශ‍්‍රිත තිසේරා, විදේශ නියෝජ්‍ය අමාත්‍ය නියොමාල් පෙරේරා, මහාමාර්ග, වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඇන්තනි වික්ටර් පෙරේරා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, විදේශ අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන, විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග යන මහත්වරු ද, විදේශ අමාත්‍යංශ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් මහතා ද ජනාධිපතිතුමා සමග චාරිකාවට එක් ව සිටියහ.


    HC/NP/IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya