අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෛතී‍්‍ර – පුටින් මිත‍්‍රත්වයේ ප‍්‍රතිලාභ ශී‍්‍ර ලාංකීය ජනතාවට උදාකරදීමට කැපවන බව රුසියානු අග‍්‍රාමාත්‍යවරයා පවසයි

    මාර්තු 25, 2017

    ශ‍්‍රී ලංකා – රුසියානු සබඳතාවල නව පිටුවක් පෙරළමින් ආරම්භ කර ඇති ද්වි පාර්ශ්වික සබඳතාවල ප‍්‍රතිලාභ ශී‍්‍ර ලාංකිය ජනතාවට ලබාදීමට කැපවන බව රුසියානු අග‍්‍රාමාත්‍ය දිමිත‍්‍රි මෙද්වදේව් මහතා පවසයි.

    රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතාගේ ආරාධනයෙන් රුසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ රුසියානු අග‍්‍රාමාත්‍ය දිමිත‍්‍රි මෙද්වදේව් මහතා අතර නිල හමුව (24) දහවල් පවැත්වුණු අතර එහිදී රුසියානු අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

    රුසියානු අග‍්‍රාමාත්‍යවරයා විසින් මෙහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.

    අනතුරුව නායක දෙපළ අතර ද්වී පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණු අතර හැට වසරක සබඳතා ශක්තිමත් පදනමකින් ඉදිරියට කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

    1957 වසරේ ඇරඹී ශී‍්‍ර ලංකාව සහ රුසියාව අතර ද්වී පාර්ශ්වික සබඳතා කි‍්‍රයාත්මක වන්නේ ආර්ථික, වෙළෙඳ, සංස්කෘතික යන ක්ෂේත‍්‍ර කිහිපයක පමණක් වන අතර එම සබඳතා තවදුරටත් පුළුල් කරමින් ඉදිරියට ගෙන යාම පිළිබඳව ද නායකයෝ සාකච්ඡා කළහ.

    වසර 43 කට පසුව ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයෙකුට හිමි වූ මෙම නිල ආරාධනය සමස්ත ශී‍්‍ර ලාංකිකයින්ටම ලැබුණු ගෞරවයක් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකාවට අවශ්‍ය ආර්ථික, වෙළඳ සහයෝගය ලබාගැනීමට ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා සමග පැවති සාකච්ඡාවල ප‍්‍රතිඵල ඉදිරියේදී ශී‍්‍ර ලාංකික ජනතාවට ලැබෙනු ඇති බව ද සඳහන් කළේය.

    අද නව සංවර්ධනයේ මං පෙත් සොයා යන ශී‍්‍ර ලංකාව සියලු මිත‍්‍රශීලී රාජ්‍යවල සහය එම සංවර්ධන වැඩපිළිවෙළ සඳහා අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිතුමා වසර 43 කට පසු සමීප මිතුරෙකු බවට පත්වූ රුසියාව නොමසුරුව ශී‍්‍ර ලංකාවට එම අතහිත ලබාදෙනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

    අමාත්‍යවරුන් වන මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් පේ‍්‍රමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඇතුළු ශී‍්‍ර ලංකා දූත කණ්ඩායම ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya