අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්තමාන සමාජය සුවපත් කිරීමට ඇති එකම මඟ ආගමික දර්ශනයයි - ජනපති

    පෙබරවාරි 27, 2017

    මනුෂ්‍යත්වය, මානව දයාව පමණක් නොව හැදියාව ද යටපත් කරමින් තරගකාරිත්වයට පමණක් මුහුණ දී තිබෙන වර්තමාන සමාජය සුවපත් කිරීමට ඇති එකම මග ආගමික දර්ශනය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    එබැවින් තරුණ පරපුර ආගමික ස්ථාන වෙත නැඹුරු කරමින් යහපත් සමාජයක් ගොඩනැගීමට මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයින් ඇතුළු සියලුදෙනා වහා ඒකරාශීවීමේ අවශ්‍යතාවය මතුව ඇති බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ රත්නපුර, පැල්මඩුල්ල ගණේගම අරමණපොල රජමහා විහාරයේ දෙතිස් ඵලරුහ බෝධි රන්වැට හා අටවිසි විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ (26) පස්වරුවේ එක්වෙමිනි.

     

    සෑම විහාරස්ථානයක් තුළින්ම ජනතාවට පිරිනැමෙනුයේ අධ්‍යාත්මය නිවා සනහාලන සුව සහනයක් වන බැවින් මෙම විහාරාංග අලුතින් එක්වීම පන්සල මුල් කරගත් සාරධර්ම පිරි සමාජයක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට ශක්තියක් බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

     

    රත්නපුර – පැල්මඩුල්ල මහා මාර්ගයට මුහුණලා කුඩා කදුගැටයක් මත පිහිටි ගණේගම රජමහා විහාරයට ඇත්තේ අවුරුදු දහස් ගණනක් දීර්ඝ වූ ඉතිහාසයකි.

     

    අනුරාධපුරයේ ජය ශී‍්‍ර මහා බෝධියේ අෂ්ඨ ඵල බෝධින්ගෙන් හටගත් දෙතිස්ඵල බෝධින් වහන්සේ නමක් ගණේගම රජ මහා විහාරයේ අදත් විරාජමානව වැඩසිටින අතර දැනට පවතින දෙතිස්ඵල බෝධි අතුරින් විශාලතම බෝධිය මෙය බවට සාධක පවතී.

     

    එම බෝධින් වහන්සේ වටා ඉදිකෙරුණු අභිනව රන්වැට සහ අටවිසි විහාර මන්දිරය අද මෙලෙස ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරිණි.

     

    අද පස්වරුවේ ගණේගම අරමණපොල රජමහා විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. විහාරාධිපති පූජ්‍ය ශාස්ත‍්‍රපති පාතකඩ විමලරතන නායක ස්වාමින් වහන්සේ ද එම අවස්ථාවට එක් වූහ.

     

    අනතුරුව පැවති උත්සව සභාවේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නායක හිමිපාණන් වහන්සේ විසින් පිරිස පංචශීලයේ පිහිටුවන ලදී.

     

    අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවස මහා නායක ස්වාමින් වහන්සේ, ශී‍්‍ර පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, ඇමතිනි තලතා අතුකෝරල, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන දුනේෂ් ගන්කන්ද, කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් සහ සබරගමුව පළාත් සභාවේ මැති ඇමතිවරු ද, ප‍්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් ද පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya