මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ පාරේ පයින් යාම වෙනුවට රට ගොඩනැගීමට එක්වීම දේශපාලනඥයින්ගේ වගකීමක් - ජනපති

    අගෝස්තු 01, 2016

    ජනතා ඡන්දයෙන් පත් වූ මහජන නියෝජිතයින්ගේ වගකීම වන්නේ කරගැට එන තුරු මහ පාරේ පයින් යාම නොව, රට ගොඩනැගීමට එක්වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ දිවයින පුරා ප‍්‍රාදේශීය මාර්ග කි.මි 3100 ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට ඊයේ (31)  පොලොන්නරුවේ දී එක් වෙමිනි.

    පොලොන්නරුව ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වීරපුර ගම්මානය අසලින් වැඩසටහන ආරම්භ කෙරිණි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රටේ සියලු දිස්ති‍්‍රක්කවලට එක සමාන සංවර්ධනයක් උදා කර දෙමින් රටේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමට කිසිදු ආණ්ඩුවක් නොකළ වැඩ කොටසක් තම ධූර කාලය තුළ ඉටු කරන බවයි.

    ජර්මනිය ඇතුළු ලෝකයේ ඉහළ දියුණුවක් ලැබූ සියලු රටවල් එම සංවර්ධනය උදා කරගෙන තිබෙන්නේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට එක්වී ආණ්ඩු කිරීම තුළ බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා බලයට කුලල් කා ගන්නා දේශපාලන සංස්කෘතිය අවසන් කර රට ගොඩනැගීමට සියලු දේශපාලනඥයින් සහ දේශපාලන පක්ෂ එක්වීම යුගයේ අවශ්‍යතාවයක් බව ද කියා සිටියේය.

    දුෂිත පාලනයක් පරාජය කර පිරිසිදු ආණ්ඩුවක් බිහි කිරීමට මේ රටේ ජනතාව සහාය වන බවට තමාට තිබූ විශ්වාසය තුළ තමා පසුගිය රජයෙන් ඉවත්වී නොබියව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බවද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා රටට අවශ්‍ය නව සමාජයීය, ආර්ථික මෙන්ම දේශපාලන පරිවර්තනය ලබාදීම වෙනුවෙන් එම ජනතා ආශිර්වාදය සැමදා තමා සමඟ පවතින බව ද කියා සිටියේය.

    රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ද මෙහිදී අදහස් දැක්වූ අතර අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වත්මන් රජය රටටත්, ජනතාවටත් අවශ්‍ය නව පරිවර්තනය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කරමින් සිටින බවත් වසර 05 ක් යන තුරු ආණ්ඩුව වෙනස් කිරීමට කිසිවෙකුටත් නොහැකි බවත්ය.

    දුෂණය වංචාව පිටු දකිමින් පිරිසිදු රාජ්‍ය පාලනයක් ගෙන යන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා දුෂණයට විරුද්ධව නැගී එන සූර්යා ලෙස ලෝකයේ ගෞරවයට පාත‍්‍ර වී ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

    මෙම ඒකාබද්ධ මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ පොලොන්නරුව දිස්ති‍්‍රක්කය ආවරණය වන පරිදි ප‍්‍රාදේශීය මාර්ග කි.මි 170 ක් ප‍්‍රතිසංස්කරණය කිරීම සිදුවන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 3,890 කි.

    අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන සිඩ්නි ජයරත්න, නාලක කොළොන්නේ යන මහත්ම මහත්මින් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක්ද රාජ්‍ය නිලධාරින් සහ ප‍්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    පිබිදෙමු පොලොන්නරුව, සංවර්ධන වැඩසටහන යටතේ කි‍්‍රයාත්මක ව්‍යාපෘතිවල ප‍්‍රගතිය විමසා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ද ඉන් අනතුරුව ජනාධිපතිතුමා නිරත විය. රෝහල් හංදිය පරිශ‍්‍රය ඇතුළු ස්ථාන කිහිපයක් ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya