මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගන්නා තීරණවලට අභියෝග කළ නොහැක - ජනපති

    ජූනි 06, 2016

    රට පුරා සිදුව තිබෙන පරිසර විනාශය හමුවේ පරිසර සංරක්ෂණය පිළිබඳ රජය ගන්නා තීන්දු තීරණවලට කිසිවෙකුට අභියෝග කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    නීති විරෝධී ජාවාරම් සිදුකරමින් පරිසර විනාශයන් සිදු කරනවානම් ඒවා වැළැක්වීමට කි‍්‍රයාමාර්ග ගැනීම සියලු මැති ඇමතිවරුන්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේ වගකීමක් බව ද අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කැපවන සියලුදෙනා වෙනුවෙන් පරිසර අමාත්‍යවරයා ලෙස මෙන්ම රටේ ජනාධිපතිවරයා ලෙස තමා සෘජුව පෙනී සිටින බව ද ප‍්‍රකාශ කළේය.

     

    ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් ඊයේ (05) මාතලේ එඩ්වඩ් කි‍්‍රඩාංගණයේ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

     

    රට පුරා සිදුවන පරිසර විනාශය වළක්වා ගනිමින් පරිසරය රැක ගැනීමට අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරන ලෙස ද අදාළ සියලු මැති ඇමතිවරුන්ගෙන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා පරිසරය පිළිබඳ වගකීම් ඉටු කිරීමේදී සෑමවිටම අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ද කියා සිටියේය.

     

    පසුගිය දශක දෙක පුරා රට තුළ සිදුවූ පරිසර විනාශය පිළිබඳ වගකීම අපගේ දේශපාලඥනයින්ගෙන් මෙන්ම රාජ්‍ය නිලධාරින්ගෙන් කොටසක් භාරගත යුතු බව පැවසූ ජනාධිපතිතුමා එය වළක්වා ගැනීමට නීතිය, බලය මෙන්ම වගකීම තිබියදී එසේ සිදු නොකිරීමේ ප‍්‍රතිවිපාක අද රටටම විඳිමට සිදුව ඇති බව ද කියා සිටියේය.

     

    පරිසරය රැක ගැනීමට මාධ්‍ය ආයතන මගින් සිදු කෙරෙන මෙහෙයද ප‍්‍රමාණවත් නොවන බව පැවසූ ජනාධිපතිතුමා ඒ පිළිබඳ අලුත් හඩක් ඉදිරිපත් කිරීමට ජාතික පුවත්පත් ඇතුළු මාධ්‍ය ආයතන තුළින් කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවද පෙන්වා දුන්නේය.

     

    උතුරේ සිදුවූ වන විනාශය පිළිබඳ පරිසර අමාත්‍යවරයා ලෙස තමාට චෝදනා එල්ල කළද පසුගිය රජය 2013 වසරේ ගත් දේශපාලන තීන්දුවක් හේතුවෙන් එවන් තත්ත්වයකට මුහුණදීමට සිදු වූ බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

     

    වන සංරක්ෂණය සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම පිළිබඳ ප‍්‍රථම වරට ති‍්‍රවිධ හමුදාව යෙදවීමට රජය කටයුතු කළ බවද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මෙරට වනාන්තර සතියකට වරක් සමීක්ෂණය කිරීමට ගුවන් හමුදාවට භාර දී ඇති අතර, ගස්කපා බෝට්ටු මගින් ප‍්‍රවාහනය කිරීම පිළිබඳ සොයා බැලීම නාවික හමුදාව විසින් සිදු කරන අතර පරිසර විනාශයන් පිළිබඳ වැටලීම් සිදු කිරීමට යුධ හමුදාවට සහ පොලීසියට භාරදී තිබෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

     

    පරිසරය රැක ගැනීම දේශපාලන පක්ෂයකට හෝ ආයතනයකට සීමා වූ වගකීමක් නොවන බව ද අවධාරණය කළ ජනාධිපතිතුමා පරිසරය රැක ගැනීමේ යුතුකම සහ වගකීම නිසි ලෙස ඉටු කිරීම හෙට උපදින දරුවන් වෙනුවෙන් වූ වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටු කිරීමක් වන බවද අවධාරණය කළේය.

     

    ආගන්තුක ආක‍්‍රමණශීලි ජීවි විශේෂ පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය, උපාය මාර්ග හා කි‍්‍රයාකාරි සැලැස්ම එළිදැක්වීම ද මෙහිදී සිදු කෙෙරිණි.

     

    2016 ජගත් පරිසර දිනයට සමගාමීව පැවැත්වූ කථික තරගාවලියේ ජයග‍්‍රාකයින්ට ත්‍යාග ප‍්‍රදානයද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර සොබා සඟරාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමද සිදු විය.

     

    මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, තානාපතිවරුන් ඇතුළු විශේෂ ආරාධිත පිරිසක් ද, පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya