මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    මැයි 20, 2016

    පීඩාවට පත් ජනතා වෙනුවෙන් සහන සැලසීමට සියලු දෙනාටම එක් වන ලෙස ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටියේය.

    ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් ඊයේ කරමින් එම ඉල්ලීම සිදු කර තිබෙන අතර පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් රජය විදිහට කළ හැකි කළයුතු සියලු වගකීම් සහ යුතුකම් අප විසින් නොපිරිහෙළා ඉෂ්ට කරන බව සඳහන් කළේය.

    ජනාධිපතිවරයාගේ සම්පූර්ණ එම විශේෂ ප්‍රකාශය පහත සඳහන් පරිදි වේ.

     
    මගේ ආදරණීය ජනතාව හමුවේ මෙවන් ප‍්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වුයේ අපේ රට තුළ පවතින අයපහත් කාලගුණ තත්ත්වය නිසා දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ඇතිවී තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් එම ජනතාවට මුහුණදීමට සිදු වී ඇති පීඩාකාරී තත්ත්වය සහ ඊට අදාළව රජය ගන්නා පියවර සම්බන්ධයෙන් කෙටියෙන් ප‍්‍රකාශයක් කිරීම සඳහායි.

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකම සිදුවූ ගංවතුර ගැලීම්, නාය යාම් සහ වෙනත් ආපදා තත්ත්වයන් නිසා සිදු වූ ජීවිත අහිමිවීම් අතුරුදහන්වීම් සහ දේපළ විනාශවීම වගේම දැනට අවතැන් කඳවුරුවල සිටින සෑම කෙනෙකුටම මේ අවස්ථාවේ රජයේ බලවත් කණගාටුව ප‍්‍රකාශ කරනවා.

    ඒ වගේම මේ තිබෙන තත්ත්වයට මුහුණදෙමින් විපතට පත් ජනතාවගේ සුබසාධන කටයුතු සඳහා මේ වන විට යුධ, නාවික, ගුවන් ති‍්‍රවිධ හමුදාව සේම පොලීසිය, ප‍්‍රාදේශීය ලේකම්වරු, දිස්ති‍්‍රක් ලේකම්වරු, ක්ෂේත‍්‍ර නිළධාරින් රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුදෙනාම ජීවිත පරිත්‍යාගයෙන් කරන කැපවීම මම ඉතාමත් අගය කරනවා.

    ඒ වගේම ති‍්‍රවිධ හමුදාව පොලිසිය ඇතුළු රාජ්‍ය සේවයේ සියලු නිලධාරින්ට රජයේ ගෞරවනීය ස්තූතිය පිරිනමනවා ජනතාවගේ ප‍්‍රසාදයට ලක්වන අයුරින් විශාල කැපවීමකින් ජනතාවට සහන සැලසීමේ කටයුතුවල නියැලී සිටීම පිළිබඳව. මේ තත්ත්වය සැළකිල්ලට ගනිමින් මේ සිදුවන සිදුවීම් සහ හෙට දවසේ තත්ත්වයන් පිළිබඳව අපට ලැබෙන තොරතුරු සමග අපි රජයක් විදිහට කොටස් තුනකින් කි‍්‍රයා කිරීමට බලාපොරොත්තු වෙනවා.

    පළමු කාර්යය තමයි දැනට ඇති වී තිබෙන මෙම පීඩාකාරී තත්ත්වයට මුහුණ දී සිටින ජනතාව වෙනුවෙන් උපරිම සුබ සාධන කටයුතු සැලසීම. දෙවැනි කාර්යය මෙම අයපහත් කාලගුණ තත්තවය සමග වර්ෂාව තව තවත් වැඩි වුවහොත් ඊට මුහුණදීම සඳහා සූදානම්වීම. තුන්වන කාරණය තමයි මේ අයපහත් කාලගුණ තත්ත්වය යථා තත්ත්වයට පත්වීමෙන් පසුව මේ පීඩාවට පත් වූ ජනතාවගේ නිවාස ඉදිකිරීම්, සෞඛ්‍ය පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් කියන එම කටයුතු සඳහා රජයේ ප‍්‍රමුඛ මැදිහත්වීම තුළ එම කාර්යයන් ඉටු කිරීම.

    ඒ නිසා මේ සියලුම කටයුතු සම්බන්ධයෙන් රජය දැඩි වගකීමකින් වගකීම් සහ යුතුකම් ඉටු කරන බව ප‍්‍රකාශ කරන්න ඕන. ඒ එක්කම මම තවත් යමක් ප‍්‍රකාශ කළ යුතුයි මේ තත්ත්වයෙන් පීඩාවට පත්වී සිටින ජනතාවට ආහාර, සෞඛ්‍ය පහසුකම්, තාවකාලික නවාතැන් පහසුකම් ඒ කටයුතු සළසාදීම පිළිබඳව රජය කටයුතු කරනවා වගේම අපේ රටේ පොදු මහජනතාව, ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ පරිත්‍යාගශීලින්, රාජ්‍ය නොවන සංවිධාන ඒ සෑම කෙනෙක්ගෙන්ම ඉතා ගෞරවයෙන් සහ කාරුණිකව මම ඉල්ලා සිටිනවා විපතට පත්වූ ජනතාවට ලබාදිය හැකි පරිත්‍යාග උපරිම මට්ටමින් ලබාදෙන ලෙස.

    අපි රජය විදිහට මේ වන විට ඒ සම්බන්ධයෙන් කළහැකි සියලු දේ අඩු පාඩුවක් නොමැතිව ඉටු කිරීම සඳහා කැපවී සිටිනවා. නමුත් මෙවැනි ගැටලුවකදි ඇතිවන චෝදනා, දෝෂාරෝපණ, විවේචන වළක්වා ගැනීමට පුළුවන්කමක් නැහැ. නමුත් එම චෝදනා, විවේචන සහ දෝෂාරෝපණ හැකිතරම් අවම කර ගැනීම සඳහා රජය පූර්ණ කැපවීමකින් කටයුතු කරනවා වගේම මා පෙර කී පරිදි මේ සඳහා ඉදිරිපත් වන පරිත්‍යාගශීලි ජනතාවගෙන් මා නැවත නැවතත් ඉල්ලා සිටිනවා එම ප‍්‍රදේශවල ජනතාවට සිදුකළ හැකි පරිත්‍යාග සහ සහන සලසාදීම සඳහා එක්වන ලෙස.

    එම පරිත්‍යාග සහ සහන ලබාදීමේ විධිමත් කි‍්‍රයාවලියක අවශ්‍යතාවය තිබෙන නිසා මේ වන විට උපදෙස් දී තිබෙනවා මෙවැනි තත්ත්වයන් පවතින දිස්ති‍්‍රක්කවල සියලුම දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට තමන්ගේ දිසා ලේකම් කාර්යාලයේ මේ පිළිබඳ විශේෂ ඒකකයක් පිහිටුවීමට. ඒ තුළින් විධිමත් සැළැස්මක් මත ක‍්‍රමවත්ව දූෂණ, අක‍්‍රමිකතා වංචාවලින් තොරව ඒ ලැබෙන පරිත්‍යාග ඝෘජුවම පොදු මහජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විටත් සකස් කර තිබෙනවා.

    එමෙන්ම එවැනි පරිත්‍යාග තමන්ගේ කැමැත්ත පරිදි ඒ ප‍්‍රදේශවල ජනතාවටත් ලබාදෙන්න පුළුවන්. ඒ වගේම දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල හරහා ලබාදීම සඳහාත් අවශ්‍ය පහසුකම් සකස් කර තිබෙනවා.

    ඒ වගේම අපි මීට පෙර මහජනතාවට දැනුම් දුන්නා මේ සම්බන්ධයෙන් තිබෙන යම් අපහසුතාවයන්, ඒ වගේම සේවාවන් සිදු නොවන ස්ථාන තිබෙනවා නම් ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබෙන විශේෂ ඒකකයේ අංක 1919 දූරකතන අංකය ඔස්සේ අපිට දැනුම් දෙන්න කියලා. ඒ කරන පැමිණිලිවලින් පෙනී යන්නේ ඇතැම් ප‍්‍රදේශවල මේ පීඩාවට පත්වූ ජනතාවට සහන සැළසීම සඳහා ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ගේ සම්බන්ධතාවල අඩුවක් තිබෙන බව.

    එයින් අදහස් කරන්නේ නැහැ එම චෝදනාව සියලු දෙනාටම තිබෙනවා කියලා. බොහෝ ප‍්‍රදේශවල පාර්ලිමේන්තු මැති ඇමතිවරු, පළාත් පාලන මැති ඇමතිවරු ඒ සඳහා විශාල කැපකිරීමකින් කටයුතු කරනවා. නමුත් ඇතැම් ප‍්‍රදේශවල එවැනි චෝදනාවකුත් තිබෙනවා. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා දේශපාලන පක්ෂ බේදයකින් තොරව ඒ සියලුම ප‍්‍රදේශවල දේශපාලන නායකත්වය ගෙන කටයුතු කරන සෑම කෙනෙක්ම මේ පිළිබඳ මැදිහත්වෙලා විපතට පත් ජනතාවට සහන සැළසීමට මූලිකත්වය ගන්න කියලා. යම් අඩු පාඩු තිබෙනවනම් අප වෙත දන්වන්න කියන එක ඉතා කාරුණිකව මම ඉල්ලා සිටිනවා.

    අපි මේ වන විටත් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අපේ මිත‍්‍ර රාජ්‍යයන්ගෙන්, තානාපතිවරුන්ගෙන් ඉල්ලා තිබෙනවා අපේ රටේ ඇතී වී තිබෙන මෙම ආපදා තත්ත්වය තුළ පීඩාවට පත්වී ඇති ජනතාවට සහන සැළසීමේදී විශේෂයෙන් නිවාස පහසුකම්, සෞඛ්‍ය සහ අනෙකුත් සුබසාධන කටයුතු සඳහා ලබාදිය හැකි ආධාර උපකාර ලබාදෙන ලෙස.

    මේ වන විටත් රටවල් කිහිපයක්ම ඉදිරිපත් වෙලා තිබෙනවා ආධාර අනුග‍්‍රහය ලබාදීම සඳහා. එම සියලුම රාජ්‍යයන්ටත් මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා වගේම අවසාන වශයෙන් මේ කටයුතුවල නියැලී සිටින සියලු ක්ෂේත‍්‍රවල නිලධාරි මහත්ම මහත්මීන්ට මා නැවත නැවතත් ස්තූතිවන්ත වෙනවා මහජනතාව වෙනුවෙන් කරන දැඩි කැපවීම පිළිබඳව.

    ඒ වගේම මගේ ආදරණීය ජනතාවට මම ඉතාම ගෞරවයෙන් ප‍්‍රකාශ කරන්න ඕන පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් රජය විදිහට කළ හැකි කළයුතු සියලු වගකීම් සහ යුතුකම් අප විසින් නොපිරිහෙළා ඉෂ්ට කරන බව.

    ඔබ සියලු දෙනාටම ස්තූතියි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya