මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩු හදන්නෙත් වෙනස් කරන්නෙත් ජනතාව - ජනපති

    මාර්තු 31, 2016

    ආණ්ඩු හදන්නෙත්, ආණ්ඩු වෙනස් කරන්නෙත් ජනතා මතවාදය බවත් රටට වැඩ කළ පමණින් කිසිවෙකුට මැතිවරණ ජයග‍්‍රහණය කළ නොහැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    රටට වැඩ කළ පුද්ගලයින් සැමදා මැතිවරණ ජයග‍්‍රහණය කරනවා නම් සී.පී. ද සිල්වා වැනි චරිත සැමදා පාර්ලිමේන්තුව නියෝජනය කරන බව පැවසූ ජනාධිපතිවරයා රට වෙනුවෙන් යෝධ සංවර්ධන ව්‍යාපාරයක් දියත් කළ සී.පී. ද සිල්වා මහතා පොලොන්නරුව ජනතාව විසින් 1970 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය කර දැමුවේ කිසිදා නොදුටු පුද්ගලයෙක් වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කරමින් බව ද ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ සී.පී. ද සිල්වා මහතාගේ චරිතාපදානය ‘මින්නේරි දෙවියෝ’ කෘතිය දොරට වැඩීමේ උත්සවයට ඊයේ (30) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එක් වෙමිනි.

    දේශපාලන බලය අනිසි ලෙස භාවිතා නොකර සැබෑ ලෙසම මිනිසුන්ට ආදරය කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මානව හිතවාදියෙකු වූ සී.පී. ද සිල්වා චරිතය දේශපාලනයට පැමිණ ඉක්මණින් පොහොසත් වීමට උත්සාහ දරන තරුණ දේශපාලනඥයින්ට මහඟු ආදර්ශයක් බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

    50, 60 දශකයන් තුළ රටේ සිදුවූ සංවර්ධනයේදී පොලොන්නරුව දිස්ති‍්‍රක්කය සංවර්ධනය කිරිමේ නියමුවෙකු ලෙස විශිෂ්ට මෙහෙයක් ඉටු කළ සී.පී. ද සිල්වා මහතා පොලොන්නරු ගොවි ජනපදය තුළ සිටි වැඩිහිටියන් විසින් මින්නේරි දෙවියන් ලෙස හැඳින් වුයේ සැබෑ ලෙසම හෘද සාක්ෂියට එකඟව බවද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

    අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් සී.පී. ද සිල්වා ‘මින්නේරි දෙවියෝ’ කෘතිය රචනා කර තිබෙන අතර එහි පළමු පිටපත ඒ මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    ස්වාර්ථය පසෙක තබා පරාර්ථය වෙනුවෙන් කැපවූ නායකයන් අතුරෙන් අපේ රටේ විසූ කීර්තිමත් ලංකා පුත‍්‍රයෙකු වන සී.පී ද සිල්වා මහතාට හිමිවන්නේ අද්වීතීය ස්ථානයකි.

    1912 පෙබරවාරි 16 වැනි දින බලපිටියේ උපත ලැබූ චාල්ස් පර්සිවල් ද සිල්වා මෙරට ජනතාව අතර ප‍්‍රචලිත වූයේ සී.පී. ද සිල්වා යනුවෙනි.

    එතෙර, මෙතෙර උසස් අධ්‍යාපනයෙන් ඉක්බිතිව 23 වන වියේදී ඔහු එවකට පැවති සිවිල් සේවයට ඇතුළත් විය.

    ගල්ඔය, බකමූණ, ගිරිතලේ වැනි සංවර්ධන යෝජනා ක‍්‍රම කි‍්‍රයාවට නැංවීමට සිවිල් සේවකයෙකු වශයෙන් ඔහුගෙන් සිදුවූ සේවය ඉමහත්ය. විශේෂයෙන් ඇලහැර මිණිපේ ඇළ කැපීම වැනි ස්ථානවල දී ඔහුගේ කැපවීම සහ දක්ෂතාවය කැපී පෙනිනි.

    1950 වර්ෂයේ දී ඔහු තමා දරමින් සිටි ඉඩම් සංවර්ධන සහ ආහාර නිෂ්පාදන වැඩබලන අධ්‍යක්ෂ තනතුරෙන් ඉල්ලා අස්වී දේශපාලනයට පිවිසියේය. 1952 මැතිවරණයේදී ප‍්‍රථම වරට ඉදිරිපත් වූ අවස්ථාවේම පොළොන්නරුව ආසනයෙන් ඔහු පාර්ලිමේන්වට තේරි පත් විනි.

    පොළොන්නරුව දිස්ති‍්‍රක්කයක් බවට පත් කිරීමේ මහා ව්‍යායාමය පසුබිමින් නැගී හිඳින්නේ සී.පී. ද සිල්වා චරිතයයි.

    මහසෙන් මහරජු ඉදිකළ මින්නේරිය වැව වසර අටසියයකට පසු වනගත ආක‍්‍රමණයෙන් අත් මුදවා ඩී.එස්. සේනානායක මහතා විසින් ප‍්‍රතිසංස්කරණය කිරීමට ගත් උත්සාහය යථාර්ථයක් බවට පත්කිරීමේ ගෞරවය හිමිවන්නේ සී.පී. ද සිල්වා මහතාටයි.

    මහසෙන් මහරජු මහසෙන් දෙවියන් ලෙසින් ජනතාවගෙන් පිදුම් ලබද්දී මින්නේරිය වැව අනාගතය සඳහා පිළිසකර කළ සී.පී. ද සිල්වා මහතා මින්නේරිය වැසියන්ගේ මින්නේරි දෙවියන් බවට පත්වූයේ ඒ අයුරිනි.

    කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, විපක්ෂනායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ද, මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඇතුළු විද්වතුන් ද, සී.පී. ද සිල්වා මහතාගේ පවුලේ ඥාතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya