මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විහාරස්ථාන හා පිරිවෙන් සදහා අරමුදලක්

    මාර්තු 18, 2016

    රටේ විහාරස්ථාන සහ පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා අරමුදලක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    මිනුවන්ගොඩ දොරනෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම විහාරස්ථානයේ සදානන්ද මහ පිරිවෙනෙහි භික්ෂු නේවාසිකාගාරය සහිත දාන ශාලාව විවෘත කිරීමේ උත්සවයට පසුගියදා එක්වෙමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේය.

    ශ්‍රී සුමන්තින්දාරාම විහාරයේ සහ බර්ලින් නුවර සම්බෝධි විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති රඹුක්වැල්ලේ දේවානන්ද ස්වාමීන් වහන්සේගේ ආරාධනාවකට අනුව විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත විය.
    අනතුරුව භික්ෂු නේවාසිකාගාරය සහිත දාන ශාලාව විවෘත කෙරිණි.

    මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා පැවසුවේ ඈත අතීතයේ පටන්ම රාජ්‍ය පාලනය සඳහා පමණක් නොව ශාසනික හා සමාජීය කටයුතු සඳහා ද ගෞරවනීය මහා සංඝරත්නය නිරන්තර දායකත්වයක් ලබාදුන් බවය.

    සංවර්ධිත රටවල පුද්ගලයින් පවා බෞද්ධ දර්ශනය හැදෑරීමට ඉමහත් කැමැත්තක් දක්වන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා බෞද්ධ දර්ශනයෙන් සමාජය සුවපත් කිරීමේ ප්‍රමුඛ වගකීමක් උසුලන ගමේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ පෝෂණය කිරීම සහ රැකගැනීම සියලු දෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව ද සඳහන් කළේය.

    දීර්ඝ කාලයක සිට පුරප්පාඩු වී පවතින පිරිවෙන් අධ්‍යක්ෂ තනතුර සඳහා තෛනිකායික මහා සංඝරත්නයේ ද අදහස් ඇතිව මහාචාර්ය ස්වාමීන් වහන්සේගේ නමක් තමන් විසින් අධ්‍යාපන අමාත්‍යවරයාට යෝජනා කර ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා නුදුරු දිනකදී එම තනතුරේ පුරප්පාඩුව සම්පූර්ණ වන බව ද කියා සිටියේය.

    මෙම අවස්ථාවට කැලණිය රාජමහා විහාරාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි, අත්තනගල්ල රාජමහා විහාරස්ථානයේ සහ ඇමරිකාවේ හූස්ටන් විහාරාධිපති පූජ්‍ය පන්විල ආනන්ද හිමියන්, දෙස් විදෙස් රටවල විහාරාධිපති ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ප්‍රදේශයේ ත්‍රෛනිකායික ස්වාමීන් වහන්සේලා ද අමාත්‍ය අර්ජුණ රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එඞ්වඞ් ගුණසේකර, හර්ෂණ රාජකරුණා, වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග, හිටපු පා.ම. රුවන් රණතුංග, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී චමින්ද සිල්වා යන මහත්වරුන් ද ප්‍රදේශවාසී දායක දායිකාවන් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya