අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුද්ධිමතුන් රටහැර නොගොස් සංවර්ධිත රටක් බිහි කිරීමට එක් වන්න

    මාර්තු 05, 2016

    අද දවසේ උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ වගකීම වන්නේ වැටුප් සහ වරප්‍රසාද ප්‍රමාණවත් නොවන බව පවසමින් රට හැර යාම නොව මතු පරපුර වෙනුවෙන් සංවර්ධිත රටක් බිහිකිරීම සඳහා රට භාර ගැනීම බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ඕනෑම ක්ෂේත්රතයක ගැටලු පවතින මුත් පෞද්ගලික ප්‍රතිලාභ සේම රටේ ජාතියේ අවශ්‍යතාවයද හඳුනාගැනීම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ඊයේ (04) කොළඹ, තුම්මුල්ල බෞද්ධ මන්දිර ශ්‍රවණාගාරයේ පැවති රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ 39 වැනි මහා සභා රැස්වීමට එක්වෙමිනි.

    නිදහස් අධ්‍යාපනය ලබා, නිදහසේ රට හැර යාමට ශ්‍රී ලාංකික උගතුන්ට සහ බුද්ධිමතුන්ට අවස්ථාව ඇති මුත් ලොව සංවර්ධනය කරා ගමන් කළ කිසිදු රටක එවන් අවස්ථාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අපේ රට තිබෙන ස්ථානය පිළිබඳ පසු තැවෙමින් නොසිට ආත්ම විශ්වාසයෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව රට ගොඩනැඟීමේ කාර්යට උපරිම දායකත්වය ලබා දීම සියලුදෙනාගේ වගකීම බවද පැවසීය.

    ඉංජිනේරු, වෛද්‍ය සේම රටේ සියලු ක්ෂේත්‍රවල පැන නැඟී ඇති ගැටලු විසඳා ගනිමින් ඉදිරියට යාමට වත්මන් රජය කැපවී සිටින බවද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    රජයක් ලෙස සිදු කරන කාර්ය භාරයේදී නිරෝගි මිනිසුන් බිහි කිරීම මෙන්ම ඔවුන්ට දැනුම ලබාදීම රජයේ අරමුණ බව පැවසූ ජනාධිපතිතුමා රටේ නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් ශක්තිමත් කිරීමට මීට පෙර කිසිදා ඉටු නොකළ වැඩකොටසක් වත්මන් රජය ඉටු කරමින් සිටින බවද ප්‍රකාශ කළේය.

    රටේ සංවර්ධනය සඳහා දීර්ඝකාලීන කැපකිරීම් සිදු කරමින් සිය දැනුම සහ අත්දැකීම් ජාතියේ යහපත උදෙසා යෙදවීමට රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය ඉටු කරන කාර්ය භාරයද මෙහිදී ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් විය.

    ජනාධිපතිතුමාගේ සහභාගිත්වය සනිටුහන් කරමින් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ සභාපති එස්.පී.පී. ගමගේ මහතා විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්විය.

    අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් ද ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති විමලසේන ගමගේ මහතා ඇතුළු නිළධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya