මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සභාවේ ගරුත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරමු -කතානායක

    පෙබරවාරි 10, 2016

    ඉල්ලීම ගැන සාකච්ඡා කර විසඳුමක් ලබාදිය හැකියි -අගමැති

    විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගැනීමට  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් සිදු කළ ඉල්ලීම පිළිබඳ සාකච්ඡා කර විසඳුමක් ලබාදිය හැකි වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

    විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස තමන්ව පිළිගන්නා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් කළ අදහස්වලට පිළිතුරු ‍දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.

     

    මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ ද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් නිර්මානය වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව කතානායකවරයාගේ අවධානය යොමු කළේ ය.

     

     

    කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා(එජනිස)

    විපක්ෂයේ ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අහිමි වෙලා. උපදේශක කාරක සභාවන් වලට අපේ මන්ත්‍රීවරුන්ට සහභාගී වන්න බැහැ. කතාකරන කාලයත් ලැබෙන්නේ සීමිතවයි.

     

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-

    මේ අය කෑගහනවා. හැමකෙනාටම කතා කරන්න අවශ්‍යයි.බුදු රජාණන්වහන්සේ කිව්වේ සාමයෙන් රැස්වෙන්න, සාමයෙන් විසිර යන්න කියලයි. මේ අය සිංහල බෞද්ධයෝ නොවෙයි.  අපි පිළිගන්නවා මෙතැන ප්‍රශනයක් තිබෙනවා කියා.  අපි සාකච්ඡාවෙන් විසඳුමක් ලබා දෙන්න කටයුතු කර දෙන්නම්.

     


    කතානායක කරූ ජයසූරිය මහතා-
    මේ පාර්ලිමේන්තුවේ පැවැත්ම සඳහා මහජන මුදල් නාස්ති කරන්නේ.වියදම් කරන්නේ මහජන මුදල්. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් හමුවෙලා, විකල්ප කණ්ඩායමක් හැටියට පිළින්න කියා  අප සමඟ කතා කළා.
    මම ඒ ගැන අධ්‍යයනය කළා.පක්ෂ නායක රැස්වීමේදීත් මේ ගැන අඳහස් හුවමාරු කරගන්න අවස්ථාව සළසා දුන්නා.අපිත් අපේ අයිතිවාසිකම් පිළිබඳව කතා කළා.මට කිසිම ප්‍රශ්නයක් නෑ.මමත් නියෝජ්‍ය කතානායකතුමත් පෞද්ගලිකව වෙලාව ලබාදීම සම්බන්ධයෙන් කතා කළා. මේ පිළිබඳ අපි පක්ෂ නායක රැස්වීමේදීත් කතා කළා. මෙම කණ්ඩායම පිළිබඳ අපි පෞද්ගලිකව සොයා බලා කටයුතු කර තිබෙනවා. ඔවුන්ට කතා කරන්න අවස්ථාව ලබාදී තිබෙනවා. පසුගියවර විවාදයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානනයට වෙන් කළ විනාඩි 81ක කාලයෙන් විපක්ෂයේ සන්ධානයේ පිරිසට විනාඩි 41ක් ලබාදුන්නා. ආණ්ඩුවේ සිටින සන්ධානයේ අයට විනාඩි 40යි ලබාදුන්නේ. නමුත් ඒ වේලාවේදී ඔවුන් කතා කළේ නැහැ.  ඒ පිළිබඳ විසඳුමක් ලබා දෙන්න කටයුතු කරනවා.අපි මේ පිළිබඳව පියවර ගන්නවා.පාර්ලිමේන්තු නිලධාරීන්ට තර්ජන කරන්න එපා. පාර්ලිමේන්තුවේ නිලධාරීන් කරන්නේ ඒ අයගේ වගකීමයි.නිලධාරීන්ට අපහස කිරීම ගැන කණගාටු වෙනවා. ගරු සභාවේ ගරුත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරමු.  

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-
    මේ ප්‍රශ්නයට අපිට සාකච්ඡාවෙන් විසඳුම් හොයාගන්න පුළුවන්. සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන්න අපි කටයුතු කරන්නම්. ඔබතුමා හැමදාම විපක්ෂයේ ඉන්න පුළුවන් නම් ඒකටත් අපි ඉඩ දෙන්නම්.


    විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා-
    මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවට එන්නේ පක්ෂයක් නියෝජනය කරමින්. පක්ෂයකින් ඇවිත් පක්ෂය පසෙකදා මහජන නියෝජිතයෙක් කියන්න කිසිම අයිතියක් නෑ. එංගලන්තයේ කම්කරු පක්ෂයේ අය තමන්ගේ මතවාද ගෙනයනවා. නමුත් ඔවුන් පාර්ලිමේන්තුවේදී එක පක්ෂයක් විදිහට ඉන්නේ.  


    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-
    අපි මේ පිළිබඳ විසඳුමක් දෙන්න කටයුතු කරනවා. වි‍ශේෂයෙන් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර මේ පිළිබඳ ඉක්මන් විසඳුමක් ලබාදෙන්න කටයුතු කරන්නම්.විපක්ෂ නායකතුමත් එක්කත් කතා කරලා,දින කීපයක් දෙන්න අපිට යම්කිසි විසඳුමක් සොයාගැනීමට හැකිවෙයි.ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා නොකර කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකියි.මම ලෑස්තියි සාකච්ඡා කරන්න.

     

    කතානායක කරූ ජයසූරිය මහතා
    හැමදෙනාගේම කරුණුවලට  සවන් දුන්නා.   සන්ධාන නායකයන් සමඟ කතා කරලා මේ ගැටලුවට විසඳුම් දෙන්න කටයුතු කරන්නම්. ඒ නිසා මහජන මුදල් නාස්ති ‍නොකර අපි සභාවේ ඉදිරි කටයුතු කරගෙන යමු.අග්‍රාමාත්‍යතුමත් එකඟ වුණා, සන්ධාන නායකයන් සමඟ කතා කරන්න.මේක විසඳාගමු.මහජන මුදල් විනාශ කරලා, ඉතා වැදගත් පනත් ප්‍රමාද කරන්න පුළුවන්කමක් නෑ.


    සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-
    අගමැතිතුමා පොරොන්දු වුණා, ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරන්න.

     

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
     ඔබතුමාලට විසඳමක් ලබා දෙන්න පුළුවන් වෙවි. ජනාධිපතතුමා ඉදිරි දිනවල විදේශ ගතවීමටත් ඉන්නවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya