මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට ආධාර, ණය සහ විශේෂඥ උපදෙස් - ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති

    ජනවාරි 24, 2016

    වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ පුද්ගල නිදහස ආදීක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය හේතුවෙන් අනාගතයේ ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් ආධාර, ණය සහ විශේෂඥ උපදෙස් ලබා දීමට ක්‍රියා කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකො නකඔ (Takehiko Nakao) මහතා පැවසීය.

    ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළුව පැවත්වෙන අතරවාරයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා වැඩි වැඩියෙන් සහය ලබා දීම පිළිබඳව අදහස් හුවමාරු කර ගැනිණි.

     

    මෙහිදී සභාපති නකඔ මහතා පැවසූයේ ශ්‍රී ලංකාවට සහය ලබා දීම පිළිබඳව දීර්ඝ හා සවිස්තර ලෙස සාකච්ඡා කිරීමට තමන් ලබන මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්‍ෂා කරන බවය.

     

    සුන්දර දේශයක් ලෙස කීර්තියක් දිනා සිටි ශ්‍රී ලංකාවට යළිත් ඒ ස්ථානය ලබා දීම සඳහා සහයෝගය දක්වන්නට ආසියානු සංවර්ධන බැංකුව සූදානම් බව ද ඔහු පැවසීය.

     

    අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවන්හි ශ්‍රී ලංකාව සිදු කිරීමට අපේක්‍ෂා කරන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැති වික්‍රමසිංහ මැතිතුමා කරුණු පැහැදිලි කළේය.

     

    මේ ක්ෂේත්‍රයන් පිළිබඳ සමාජ දර්ශක දැනටමත් යහපත් මට්ටමක ඇති හෙයින්, මේ ප්‍රතිසංස්කරණ ඔස්සේ එකී සමාජ දර්ශක ප්‍රශස්ථ මට්ටමකට ඉහළ නැංවීමට හැකි වනු ඇති බවට සභාපති නකඔ මහතා විශ්වාසය පළ කළේය.

     

    පසුගිය වකවානුවේ ශ්‍රී ලංකාව දැරිය නොහැකි මට්ටමකට ණය ලබා ගෙන තිබීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ලෝකයේ විවිධ රටවල් හා බැංකු වලින් ලබා ගෙන ඇති මේ ණය බර ලිහිල් කර ගැනීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහය ලබා ගැනීමේ අවස්ථාවන් පිළිබඳව සොයා බැලීමට ද එකඟත්වය පළ කෙරිණි.

     

    මුදල් අමාත්‍ය රවි කරුණානායක, ජාත්‍යන්තර වෙළඳ සහ සංවර්ධන උපාය මාර්ග අමාත්‍ය මලික් සමරවික්‍රම,අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ, මහ බැංකු අධිපතිඅර්ජුන මහෙන්ද්‍රන් සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya