මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිබල මණ්ඩලයේ මිනිස්බල සමාගම් සේවකයන් ස්ථීර කාර්ය මණ්ඩලයට

    නොවැම්බර් 20, 2014
    මිනිස්බල සේවා සපයන සමාගම් හරහා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවාවන් වෙනුවෙන් යොදවා සිටින 5000කට ආසන්න සේවකයන් පිරිසක්, ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථීර කාර්ය මණ්ඩල ප්‍රවාහයට ඇතුළත් කිරීමට පියවර ගැනේ.
     
    විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, ලබන දෙසැම්බර් 01 දින සිට  මෙම පිරිස සුදුසුකම් මත, ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථීර කාර්ය මණ්ඩලයට බඳවා ගන්නා බවය.
     
    අද පෙරවරුවේ (20) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
     
    මාධ්‍ය හමුවේදී අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙසේ ද ප්‍රකාශ කළාය.
     
    "පෞද්ගලිකව මිනිස්බල සේවා සපයන සමාගම්වලින් ලංකා විදුලිබල මණ්ඩලය, දැනට අවුරුදු ගණනාවක සිට සේවය ලබාගනිමින් සිටිනවා. මෙම මිනිස්බල සමාගම්වල සේවය කරන පිරිස ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථීර සේවයට බඳවා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා මටත්, අපේ රජයටත් දිගින් දිගට ඔවුන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කරනු ලැබුවා. ඒ නිසා අපි රජයක් විදිහට, විශේෂයෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි තීරණයක් ගනු ලැබුවා, දැනට මිනිස්බල සේවා සැපයුම් සමාගම්වල සේවය කරන මෙම සේවක සහෝදර සහෝදරියන්, ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථීර සේවකයන් ලෙස  බඳවා ගැනීමට".
     
    "අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙවර අයවැය ඉදිරිපත් කිරීමේදී සඳහන් කළා, රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවය කරන අනියම්, තාවකාලික සහ කොන්ත්‍රාත් පදනම මත සේවය  කරන අය එම ආයතනවලට ස්ථීර සේවයට බඳවා ගන්නා බවට. එම තීරණය පදනම් කරගෙන අපට වඩා පහසු වුණා, මෙම සේවකයන් ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථීර සේවකයන් ලෙස ඇතුලත් කරගැනීමට". 
     
    "විශේෂයෙන් මිනිස්බල සේවා සමාගම්වල සේවය කරන සහෝදර සහෝදරියන් අනියම්, තාවකාලික හෝ කොන්ත්‍රාත් පදනම මත සේවයේ නොයෙදුණත්, රජයේ අභිලාෂය වූයේ, ලංකා විදුලිබල මණ්ඩලයට සේවා සපයන මිනිස්බල ආයතනවල සේවය කරන්නන්, ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථීර සේවා ප්‍රවාහයට බඳවා ගැනීමටයි. ඒ අනුව මෙම සේවක පිරිස් එළඹෙන දෙසැම්බර් 01 දින සිට, ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථීර සේවා ප්‍රවාහයට ඇතුළත් වනවා. ආයතනයේ බඳවා ගැනීමේ පටිපාටියට අනුව ඔවුන්ගේ සුදුසුකම් මත තමයි, මෙම  බඳවා ගැනීම් සිද්ධ වෙන්නේ" යැයිද අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
     
    මෙම මාධ්‍ය හමුවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී. ප්‍රදිනාන්දු, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී. ගනේගල, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම්, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.අයි.එම්. රෆීක් මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya